ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යළි ඉන්දියාවට භාර දී තිබේ.
නිදහස් කරන ලද ට්‍රෝලර් ධීවර යාත්‍රා 2015,2016 සහ 2017 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ ධීවර යාත්‍රා වෙයි.
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ නැංගුරම් ලා තිබු ඒවා බව නාවික හමුදාව පවසයි.
මෙම ට්‍රෝලර් ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 13 වන දින ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 වේග ප්‍රහාරක යාත්‍රාව එක්ව තිබේ.



