අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.09

Share

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලතල පාර්ලිමේන්තුව විසින් ඵලදායීව ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙත අයවැය ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය යෝජනා යනාදිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණයන් ලබා දීම ඇතුළු සේවා හා පහසුකම් සැලසීමේ ප්‍රධාන අරමුණින් ‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්’ ස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
2020 වර්ෂය වන විට මෙගාවොට් 200ක විදුලිබලයක් සූර්ය බලශක්තිය මඟින් ජනනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර 2025 වර්ෂය වන විට එය මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ‘සූර්ය බල සංග්‍රාම’ වැඩසටහන යටතේ වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සඳහා සහන ණය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනට සහාය වෙමින් සූර්ය බල පද්ධති සඳහා වෙළඳ පොළ යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබා ගත හැකි උප ව්‍යාපෘති පෙළගැස්ම සැකසීම, වාණිජ හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දැනුම හා ධාරිතාව වැඩි කිරීම ආදී කටයුතු සඳහා සහන ණය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති අතර ඒ සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම
ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් ඉන් එක් ආයෝජකයෙකු සිය යෝජනාව අනුව ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කරනු ලැබ ඇති බැවින් එකී ඉඩම් කොටසෙහි ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු වෙනත් ආයෝජකයෙකු තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතු වන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි 07 ක් හඳුනා ගෙන එම වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/-ක් දක්වා වැඩි කිරීමට 2016 වර්ෂයේදී යෝජනා කෙරිණි. එහෙත් මේ සම්බන්ධයෙන් බස් සංගම් හා ත්‍රි රෝද රථ සංගම් වෙතින් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගෙන මෝටර් වාහන පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ජනාධිපතිතුමා විසින් නිලධාරි කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා වැඩි කිරීම:
– වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.
– රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.
– මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.
– දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.
-වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීම:
– අධික වේගයෙන් රිය පැදවීම.
(නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 20% ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 30% ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 50% ට වැඩි අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම)
– වමෙන් ඉස්සර කිරීම.
(මෙම වරද සඳහා වන අවම ස්ථානීය දඩය රුපියල් 2,000/- ක් දක්වා වැඩි කෙරේ)
– වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීම.
(මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)
-අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම
. (මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)
– නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් විසින් රිය පැදවීම.
(මෙම වරද සඳහා දැනට පවතින අවම දඩය රුපියල් 5,000/- ක සිට 30,000/- දක්වා වැඩි කෙරේ)
– මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2,500/- ක් දක්වා වැඩි කිරීම.
ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000/- ක ස්ථානීය දඩයක් නියම කිරීම.
රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදා ගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
අධීවේගී මාර්ගවල හා මහාමාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.
ශ්‍රීලංගම හා පෞද්ගලික බස්රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වෑන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.
මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.
රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරින් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය ඇතිකරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම
වර්තමානයේ අලාභ ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට සමුච්චිත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් (රුපියල් මිලියන 15,600ක්) වේ. මේ තත්ත්වය යටතේ එම ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු අලාභ ලබමින් තවදුරටත් පවත්වාගෙන යාම රජයට විශාල වැය බරක් වේ. එබැවින් මෙම ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සදහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ. නමුත් ගුවන්තොටුපළෙහි සමස්ත මෙහෙයුම්, කළමනාකරණය හා නඩත්තුව ආවරණය වන යෝජනා කිසිවක් එහිදී ඉදිරිපත් වී නොමැත.
මේ අතර මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස ඉන්දියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ, අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කන්ද උඩරට උරුමය සුරැකීම
කන්ද උඩරට උරුමයේ කේන්ද්‍රස්ථානයන් වන මධ්‍යම හා ඌව පළාත්වල පවතින විනාශ වී යමින් පවතින ‍ෙඑතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමත්, උඩරට ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ කුඩා වැව්, අමුණු හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමත්, උඩරට පාරම්පරික නැටුම්, ලෝහ කර්මාන්ත, ලාක්ෂා කර්මාන්තය, වේවැල්, පන් හා හණ ආදී හස්ත කර්මාන්ත ඇතුළත් ජනකලා සහ ශිල්ප ක්‍රම රැක ගැනීමත් ඉතා අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව, උඩරට සාම්ප්‍රදායික ගම සංවර්ධනය කිරීම, පැරණි ඓතිහාසික ස්ථාන ප්‍රතිසංස්කරණය හා කලා ශිල්ප ප්‍රවර්ධනය, ග්‍රාමීය වැව් හා වාර්මාර්ග ප්‍රතිසංස්කරණය සහ කෞතුකාගාර හා සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කිරීම ඇතුළු විවිධ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම කටයුතු මෙහෙයවීම සඳහා ‘කන්ද උඩරට උරුමය සුරැකීමේ අධිකාරිය’ යනුවෙන් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගංවතුර හා නායයාමේ ආපදා හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ එම පවුල් සඳහා නිවාස ඉදි කිරීමේදී යොදා ගත යුතු නිවාස සැලසුම්
2017 වර්ෂයේ මැයි මස දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සිදුවූ ගංවතුර හා නාය යෑම් ආපදාවන්ගෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මෙම වැඩසටහන යටතේ අවතැන් වූ තැනැත්තන් නැවත පදිංචි කිරීමේදී අදාළ ආයතන විසින් අනුගමනය කළ යුතු ‘මාර්ගෝපදේශ’ සහ ඉදි කරනු ලබන නිවාස සඳහා භාවිත කළ යුතු ‘නිවාස සැලසුම්’ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කරනු ලැබ තිබේ. එකී මාර්ගෝපදේශ සහ නිවාස සැලසුම්වලට අනුකූලව ගංවතුර සහ නාය යෑම් ආපදාවන්ට බලපෑමට ලක් වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙහි නවීකරණ කටයුතු
ලොව ඇති විශාලතම ග්‍රහලෝකාගාර අතුරින් එකක් වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මීටර් 23ක විෂ්කම්භයකින් යුත් අර්ධ ගෝලාකාර පියසකින් සහ එකවර 500 දෙනෙකු සඳහා ආසන පහසුකම්වලින් සමන්විත වේ. 1965 වර්ෂයේදී පෙර නිමි කොන්ක්‍රීට් ඉදි කිරීම් තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරනු ලැබ ඇති මෙම ග්‍රහලෝකාගාර ගොඩනැඟිල්ල මෑත කාලයේදී නවීකරණය කිරීමට බඳුන් කර නොමැත. ඒ අනුව, එහි පියස්සෙහි සහ ඒ ආශ්‍රිත කොටස්වල සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති අලුත්වැඩියා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති
රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශයෙහි කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු මට්ටමක් කරා ලඟා වී ඇති අතර, මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු 100%ක්ද, නේවාසික රෝගී සත්කාරක සේවාවේ 90% – 95%ක්ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් 40% – 50%ක්ද රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය සේවා නොමිලේ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, රටේ මහජනතාව සෞඛ්‍ය සම්පන්න කරලීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු වේ.
ඒ අනුව, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත අන්දමින් බෙදී යාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල් කිහිපයක පවතින අධික තදබදය අවම කිරීම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා සහ සායන ගොඩනැඟිලි ආදිය දුර බැහැර රෝහල්වල ඉදි කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි විශේෂඥ සත්කාරක සේවාවන් සැපයීමටත් රජය සැලසුම් කර ඇත. ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති ආසන්න වශයෙන් පිරිවැය රුපියල් මිලියන 28,000ක් පමණ වන විවිධ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
උත්තර භාරතීය ශාස්ත්‍රීය ශික්ෂණය දේශීය හැඩතලයකට අවනත කොට මෙරට ජන සංගීතයද යොදා ගනිමින් දේශීය ලක්ෂණවලින් හෙබි සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගොඩනඟන ලද සංගීත අභාසය සහ නිර්මාණ මෙරට ජාතික උරුමයක් ලෙස සැලකිය හැකිය. එම උරුමය අනාගත පරපුරටද විඳ ගැනීමට හැකිවන පරිදි සුරක්ෂිත කිරීමේ අරමුණින් සංගීතයට සම්බන්ධ සියලු අංග හා යටිතල පහසුකම්වලින් සමන්විතව ‘අමරදේව අසපුව’ පිහිටුවීමට රජය විසින් යෝජනා කරනු ලැබ තිබේ.
ඒ අනුව, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ලෙස පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමෙන් අමරදේව අසපුව ස්ථාපිත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහානගර ව්‍යාපෘති කාර්යාල හරහා බස්නාහිර කලාප මහානගර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම
බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘති කාර්යාලය 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු පිණිස, බස්නාහිර කලාප මහානගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් ව්‍යාපෘති කාර්යාල 11ක් ස්ථාපිත කිරීමටද අනුමැතිය දෙනු ලැබ තිබේ. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය මඟින් හා එකී ව්‍යාපෘති කාර්යාල මඟින් සිදු කෙරෙන කටයුතු ද්විකරණය වීම වළක්වා ගැනීමේ අරමුණින් බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමටත්, අනෙකුත් ව්‍යාපෘති කාර්යාල මනාව ක්‍රියාත්මක වීම සහතික වීම උදෙසා එකී ව්‍යාපෘතීන් පහත දැක්වෙන පරිදි ඒවායේ නියමිත නම් වලින් නැවත නම් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* බස්නාහිර කලාපීය ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර වෙරළ කලාපීය නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය වැවිලි කර්මාන්ත නගර සංවර්ධන ව්‍යාපෘතිය
*   බස්නාහිර කලාපීය සංචාරක නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය
* බස්නාහිර කලාපීය සැලසුම්කරණ ව්‍යාපෘතිය
ගම්මිරිස් මිල අවපාතය කළමනාකරණය කිරී
ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහ දේශීය වෙළඳ පොළ තුළ ගම්මිරිස් මිල මේ දිනවල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් විවිධ අපහසුතාවන්ට පත්ව තිබේ. ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා අදායම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳ කරුණු පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නොපමාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගේ සාමාජිකත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
ඕසෝන් මිතුරු තේ ලාංඡනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමට එක් කිරීම
ඕසෝන් ස්ථරයට හානිකර මීතයිල් බ්‍රෝමයිඩ් (Methyl Bromide) හෙවත් බ්‍රෝමොමීතේන් (Bromo-methane) රසායනික ද්‍රව්‍යය භාවිතය සීමා කළ යුතු බවට ඕසෝන් වියන සුරැකීම සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානය විසින් 1992 වසරේදී තීරණය කරන ලදී. ඒ අනුව, විකල්ප තාක්ෂණික ක්‍රම වෙත යොමුවීම මඟින් විශේෂයෙන්ම තේ වගාව තුළ පළිබෝධනාශකයක් වශයෙන් භාවිත කරන ලද එම රසායනික ද්‍රව්‍ය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය ජාත්‍යන්තර ඇගයීමටද ලක් වී ඇත.
මෙම ජයග්‍රහණය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ‘ඕසෝන් මිතුරු තේ ලාංඡනය’ (Ozone Friendly Tea Logo) හඳුන්වා දෙනු ලැබ ඇති අතර, ඕසෝන් මිතුරු තේ නිෂ්පාදනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුමට එම ලාංඡනය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නඩු තීන්දුවේ හෝ අවසානාත්මක තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපතක් නඩුවේ එක් එක් පාර්ශ්වය වෙත ගාස්තු රහිතව නිකුත් කිරීම
නඩු තීන්දුවේ හෝ අවසානාත්මක තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපතක් ගාස්තු අය කිරීමෙන් පසුව නඩුවේ එක් එක් පාර්ශ්වකරුවන් වෙත නිකුත් කළ හැකි බවට විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැක්වේ. එහෙත්, නඩු තීන්දුව හෝ තීන්දු ප්‍රකාශය ලබාගැනීම සඳහා ඇතැම් නඩුවල පාර්ශ්වකරුවන්ට මුදල් නොමැති බව නිරීක්ෂණය කෙරේ. එබැවින් යුක්තිය පසිඳලීම සහතික කිරීමට සහ අධිකරණ පද්ධතියේ අභිවෘද්ධිය සඳහා නඩු කටයුත්තේ එක් එක් පාර්ශ්වය වෙත නඩු තීන්දුවේ හෝ තීන්දු ප්‍රකාශයේ එක් සහතික කළ පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් සංතරණ සේවා සංකීර්ණය වැඩි දියුණු කිරීම
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් සංතරණ සේවා සංකීර්ණයෙහි (Navigational Services Complex) යෝජිත වැඩිදියුණු කිරීම් යටතේ එහි නව දිගුව ඉදි කිරීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 201.39ක මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පඹහින්න ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
රත්නපුර දිස්ත්‍රික්කයේ, පඹහින්න, මුත්තෙට්ටුවේගම, පුවක්ගහවෙල, කරගස්තලාව, කින්චිගුනේ සහ කුඹල්ගම යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ සබරගමුව විශ්වවිද්‍යාලය වෙත සුරක්ෂිත පානීය නළ ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන පඹහින්න ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,019.47 ක මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඖෂධ මිල දී ගැනීම
ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධයක් වන අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 5‑6 එන්නත් 6,500ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 637,000 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ හරහා මීටර් 380ක දිගින් යුතු, මං තීරු හයකින් (06) යුත් පාලමක් සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 9,896 ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනය පිහිටි භූමියේ ඇති ගොඩනැඟිලි සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ ඉවත් කිරීම
දැනට අවුරුදු 23කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අදාළ කර්මාන්තශාලා භූමිය නිදහස් කිරීමට ප්‍රථම එහි ඇති ඉවත් කළ යුතු සියලුම ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 540ක ඉහළම මිල ඉදිරිපත් කරනු ලැබූ ලංසුකරු වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පවත්නා දැඩි නියං තත්ත්වය හේතුවෙන් රක්ෂිත ප්‍රදේශ ගිනි ගැනීම්වලින් වළක්වා ගැනීම සහ වනසතුන් සඳහා ජලය සැපයීම
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ආහාර හා ජලය හිඟ වීම නිසා වනසතුන් දැඩි පීඩ‍ාවකට පත්ව සිටින අතර රක්ෂිත වනාන්තර ප්‍රදේශවල සිදු වන ගිනි ගැනීම් නිසා එම වනසතුන්ගේ වාසස්ථාන අහිමි වීමේ තර්ජනයක්ද මතු වී තිබේ. එබැවින් රක්ෂිත වනාන්තර ප්‍රදේශ ගිනි ගැනීම්වලින් ආරක්ෂා කරගැනීම සඳහාත්, වනසතුන් සඳහා ජලය සැපයීම සඳහාත් ට්‍රැක්ටර් ජල බවුසර් 10ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read more

Local News