ජනපති නව වසරේ සෝමාවති පුදබිමේ ආගමික වතාවත්වල

Share

උදා වූ නව වසරේ කටයුතු ආරම්භ කරමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේය.

ඉන් අනතුරුව පුදබිමේ විශේෂ ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

අද දින සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පැවැත්වුණු විශේෂ කප්රුක පූජාවට ද ජනාධිපතිතුමා එක් විය.

නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා සෝමාවති පුදබිම වෙත පැමිණි බැතිමතුන් වෙනුවෙන් කිරිබත් සහ කැවිලි දන්සැලක් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, එම දන්සැල ආරම්භ කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

දන්සැල වෙත පැමිණි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට කිරිබත් කැවිලිවලින් සංග්‍රහ කිරීමට ද එක් විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සෝමාවති පුදබිමේ ඉදිකෙරෙන දෙමහල් ධර්මශාලාවේ ඉදිකිරීම් කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

මේ අතර ජනාධිපතිතුමා ඊයේ (31) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ද වැඳපුදා ගනිමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ පුදබිමේ සංවර්ධන කටයුතු පිළබඳව එහිදි සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු සහය ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අනතුරුව ජනාධිපතිතුමා රුවන්වැලි මහා සෑය අභියස ආගමික වතාවත්වලට එක් වූ අතර, ස්වර්ණමාලී මහා සෑ රඳුන් උදෙසා සිදුකරන ලද විශේෂ මුරුතැන් දානමය පූජාව සඳහා ද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේ ය.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.

මේ අතර රුවන්වැලි සෑය පුදබිම පරිශ්‍රයේ සේපාලිකා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, තිස්ස කරලියද්ද, හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Read more

Local News