IMF සමඟ සාකච්ඡාවට මංගල හෙට වොෂින්ටන් යයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් හෙට (11) දිනයේ ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා දක්වන දායකත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරින් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අඛණ්ඩව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය  යොමු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඉන්දීයානු මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට එකඟතාව පල කර තිබේ.

සංචිත ඉහළ නැංවීම සඳහා දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම් යටතේ මෙම මුදල ලබාදීමට එකඟතාව පල කර ඇති බව මහ බැංකුව සඳහන් කර තිබේ.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් බිලිනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය මහ බැංකු සමඟ ද්විපාර්ශවික ගිවිසුමකට එළඹීම සඳහා කරන ලද ඉල්ලීම ද සලකා බැලෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම එකඟතාවයට එළඹිමේදී ඉන්දීය මධ්‍යම රජයත්, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත් දැක්වූ ක්‍රියාශිලී සහයෝගය අගය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

රටේ පැවැති දේශපාලන වෙනස්විම් නිසා සිදු වු ප්‍රමාදයන් අවසන්විමත් සමඟ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අංශ තුනක් ඔස්සේ විමර්ශන කරමින් පවතින බව සඳහන්ය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම, කාලීන ණය ලබා ගැනීම හා රාජ්‍ය බැංකු හරහා ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සාකච්ඡා කිරීම ඒ යටතේ සිදු කිරීමට නියමිතයි.

මෙම කටයුතු මේ වසරේ පළමු කාර්තුව තුළ නිමා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Read more

Local News