ලෝක තරුණ බෞද්ධ සමුළුවේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේ සමාප්ති උත්සවය ඊයේ (30) පැවැත්විණි.

තෙවන වරට ශ්‍රී ලංකාවේ පැවැත්වුණු මෙම සමුළුවට ලෝකය පුරා සිටින ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂුන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගී විය.

ඔක්තෝබර් 27 වනදා ආරම්භ කෙරුණු 14 වන වාර්ෂික සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව යන ස්ථානවලදී පැවැත්විණි.

මිල්ලවාන ප්‍රදේශයට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් මිල්ලවාන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විිද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

 

තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජික රටවල නියෝජිතයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.