තිරසර දැක්ම කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනපතිට පිළිගන්වයි

Share

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් පිළිගැන්වීය.
2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්හි සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ තිරසර සංවර්ධන දැක්මක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි මාසයේ විශේෂඥ කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුවේ සභාපතීත්වය දරනුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසිනි.
ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප‍්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව සපුරා ගත යුතු ඉලක්ක පිළිබදව මෙම කෙටුම්පතේ සවිස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇති අතර, එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙවැනි තිරසර සංවර්ධන දැක්මක් ශ්‍රී ලංකාව තුළ සම්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර එම කෙටුම්පත මහජන මත විමසීමක් සඳහා ලබන ජනවාරි මාසයේ ජාතික තිරසර කතිකාව නමින් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඒ අනුව ලබන ජනවාරි මස සිට මැයි මස දක්වා ශ‍්‍රී ලංකාවේ සියලු ම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මේ පිළිබඳ මහජන මත විමසීමක් සිදුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ අනාගත තිරසර සංවර්ධන දැක්ම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මහජනතාව, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම ඒ තුළින් අපේක්ෂා කෙරේ.

Read more

Local News