ඡන්ද විමසීම ජනවාරි 20-31ත් අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක දී පැවැත්විමට තීරණයක

Share

ඉදිරි පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි 20 වැනිදාත් 31 වැනිදාත් අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක දී පැවැත්විමට මැතිවරණ කොමිසම තීරණය කරයි.

ඊට අදාළ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මස 11 සහ 20 දා අතර සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ඒ අනුව පළාත් පාලන මැතිවරණ නාම යෝජනා කැඳවිම් දින නිවේදනය මේ මස 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දී නිකුත් කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කරයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන අායතන මන්ත්‍රීධුර දැක්වෙන ගැසට් නිවේදනය ඊයේ (1) අත්සන් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම් සභාව මෙම තීරණයට එළඹ තිබෙන අතර ඒ අනුව නාමයෝජන දැන්වීම දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව 14 වැනි දිනෙන් නාමයෝජනා භාර ගැනීම ආරම්භ කොට 17 වැනි දින මධ්‍යන 12.00 අවසන්වීමට නියමිත බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නාමයෝජනා භාර ගැනීම අවසන්ව සති පහකට නොඅඩු සහ සති හතකට නොවැඩි කාලසිමාවක් තුළ ඡන්ද පැවැත්වීම සිදුකළ යුතුයි.

කෙසේ වුවද නාමයෝජනා පිළිබඳ දැන්වීම් පළකරනු ලබන දිනය, නාමයෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් නම්කිරීම ඉදිරි දිනවල දී පවත්වනු ලබන මැතිවරණ කොමිසම් රැස්වීම්වල දී තීරණය කරනු ඇත.

Read more

Local News