ජපානයේ නිල සංචාරයක් සඳහා ජපන් අගමැති ජනපතිට අාරාධනා කරයි

Share

දිවයිනට පැමිණ සිටින ජපන් රජයේ ආර්ථික සහයෝගිතාවය පිළිබඳ විශේෂ නියෝජිත පිරිස ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍පාල සිරිසේන මැතිතුමා හමු විය.

ජපානය කවදත් ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ලබාදෙන අඛණ්ඩ සහය මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය. ජපානයේ නිල සංචාරයක් සඳහා ජපන් අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා වෙත කළ ආරාධනය ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ජපන් නියෝජ්‍ය අමාත්‍ය, අන්තර්ජාතික සහයෝගීතා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කෂූයා නිෂිඩා මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස ජපන් රජයේ සහයෝගයෙන් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඒවායේ ඉදිරි කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩ සහය ලබාදීමට සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජිත පිරිස දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව පුළුල් අවධානයකින් කටයුතු කරන බව ද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම්, ජපන් තානාපති කෙනිචි සුගානුමා යන මහත්වරුන් සහ ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News