අතුරු වාර්තාව පිලිබඳ විවාදය දීර්ඝ කරයි – කථානායකවරයා

Share

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ඒ ඒ පක්ෂවල අදහස්ද ඇතුලත්ව ඉදිරිපත්ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබදව සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස් වීමට කලින් යොදාගත් පරිදි ඔක්තෝම්බර් 30, 31 සහ නොවැම්බර් පළමු වැනිදා යන දින 03 යොදා ගෙන තිබුණ ද ඒ පිලිබදව අදහස් දැක්වීමට සෑම පාර්ශවයකින්ම ලැබී ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් ඒ සදහා වූ කාලය තව දුරටත් දීර්ඝ කිරීමට කථානායකවරයා තීරණය කර ඇත.

ඒ අනුව අද දිනය සහ එළඹෙන සතියේ අයවැය විවාදය ආරම්භ වීමට පෙර තවත් දිනයක් ඒ සදහා වෙන් කිරීමට නියමිතය.

පසුගිය දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල ඉතා වැදගත් අදහස් රැසක් ඉදිරිපත් වූ අතර, ඒ පිලිබදව ජනමාධ්‍යන්හි ද පුළුල් අවධානයක් යොමුව තිබිනි.

මෙම විවාදයේ දී අදහස් පළ කිරීමට සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් තුල දැඩි උනන්දුවක් පවතින අතර, ගෙවී ගිය දින දෙක තුල මන්ත්‍රීවරු ගණනාවක්ම මෙහිදී අදහස් දැක්වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන ලෙස කථානායකවරයා අමතමින් ඉල්ලා සිටියහ.

සෑම මන්ත්‍රීවරයෙක් තුලම ඇති මෙම උනන්දුව අගය කළ කථානායකවරයා රට වෙනුවෙන් ඉතා තීරණාත්මක කරුණක් සාකච්ඡාවට ගැනෙන අවස්ථාවක සක්‍රීයවම ඊට මැදහත් වී පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කිරීමක් බවත් පෙන්වා දුන් අතර, සියළු දෙනාටම පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කරමින් අවශ්‍ය කාලය ලබා දෙන බවට සහතික විය.

මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේ වීදි සටන් සදහා හයිඩ්පාක්, ලිප්ටන් වට රවුම වැනි ස්ථාන තෝරා ගැනීමට වඩා මහජන නියෝජිතයන් සිය මතය දැක්වීමට පාර්ලිමේන්තු සභා ගර්භය තෝරා ගැනීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විශ්වාසය තහවුරු වීමක් බවය.

Read more

Local News