අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැඩපිළිවෙළට රජයේ පාසල් සහ ආධාර යටතේ පාලනය වන පාසල් යන දෙඅංශයම

Share

ඊයේ (03) පෙරවරුවේදී මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති කතෝලික ගුරු දින සැමරුම් උත්සවයට සහභාගි වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රජයේ පාසල් සහ ආධාර යටතේ පාලනය වන පාසල් යන දෙඅංශයම, රටේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැඩපිළිවෙළට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, දැනට ආධාර ලබාදෙන පාසල්වල ආධාර තවත් වැඩිකිරීමට තීරණය කර ඇති බවත් ය.

කතෝලික සභාව සහ එහි ගුරුවරුන් එදා කළ සේවය අප අගය කළ යුතුයි. ඒ පසුබිම හරහා ආරම්භ වූ අධ්‍යාපන ක්ෂේත්‍ර තවත් දියුණු කළ යුත්තේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. එමනිසා කාදිනල්තුමා සමඟත්, අනෙක් ආගමික සභා සමඟත් සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමට මම අධ්‍යාපන ඇමැතිතුමාට උපදෙස් ලබා දුන්නා. අප රජයක් ලෙස දැනට ආධාර ලබාදෙන පාසල්වල ආධාර තවත් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම එම පාසල්වලට, ආසන්නයේ තිබෙන තවත් පාසලක් දියුණු කිරීමේ අවස්ථාව ලබාදීමටත් අප තීරණය කර තිබෙනවා. ඒ හරහා පාසල් දෙකම පෝෂණය වීම සිදුවෙනවා. මේ ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීමේ නව මාර්ග වෙත අප අවධානය යොමුකළ යුතුයි.

හොඳ අධ්‍යාපනයක් නොමැති රටක් අනාගතයක් නොමැති රටක් බවට පත්වෙනවා. වර්තමානයේ අපි ලබා‍ ඇති දියුණුවට හේතුව 19 වන ශතවර්ෂය පමණ වන විට ලංකාවේ අධ්‍යාපනයේ ඇති වූ දියුණුවයි. එසේ සිදු නොවුණා නම් අප කඩාවැටුණු රාජ්‍යයක් බවට පත්වෙනවා. කුඩා රටක් වුවත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාසල් ක්‍රියාත්මක වුණා. කොළඹ, නුවර, යාපනය, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, කුරුණෑගල ආදී විවිධ ප්‍රදේශවල පාසල් විශාල සංඛ්‍යාවක් පැවතුණා. කුමන ආගමික සභා යටතේ පාලනය වුවත් රටක් ලෙස අප ඉදිරියට පැමිණීමට එම පාසල් විශාල සේවාවක් සිදුකළා.

අතරමඟ බිඳවැටුණු එම අධ්‍යාපන ක්‍රමවේදය අප නැවතත් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් ඉටුකරමින් සිටිනවා. එහි වැදගත්ම කාර්යය වන්නේ හොඳ ගුරුවරුන් බිහිකිරීමයි. හොඳ ගුරුවරුන් නොමැති නම් පාසල් ඉදිරියට ගෙන යාමට නොහැකියි. දැනුමෙන් සහ විනයෙන් පරිපූර්ණ අධ්‍යාත්මික පසුබිමක් සහිත ගුරුවරුන් රටට අවශ්‍යයි. රජයේ හෝ පුද්ගලික අංශයන්වල සියලුම පාසල් සඳහා මෙය අදාළයි. ඒ වගේම එම ගුරුවරුන් අගය කළ යුතුයි.

එසේ නම් රටේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් ඔබ සිදුකර තිබෙන සේවය මම අගය කරනවා. ඔබේ සේවය අනාගතයේත් රට වෙනුවෙන් ලැබේවි යැයි මම බලාපොරොත්තු වන අතර ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. රජයේ පාසල් සහ ආධාර යටතේ පාලනය වන පාසල් යන දෙඅංශයම රටේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ වැඩපිළිවෙළට එක්කාසු කරගැනීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වන බව ද  අගමැතිවරයා පැවසීය.

Read more

Local News