පැමිණිමට නියමිත තෙල් නැවට අමතරව ඉන්දියාවෙන් තවත් තෙල් නැවක්

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසුවේ පවතින ඉන්ධන ගැටලුවට විසඳුමක් ලෙස අද (08) දිනයේදී දිවයිනට පැමිණිමට නියමිත තෙල් නැවට අමතරව ඉන්දියාවෙන් තෙල් නැවක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැතිවරයා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර එම සාකච්ඡා‍වේදී එම තෙල් නැව කඩිනමින් ශ්‍රි ලංකාවට ලබාදීමට එකඟතාව පළ කළ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අද (08) දිනයේදී දිවයිනට පැමිණිමට නියමිත තෙල් නැවට අමතරව මෙම තෙල් නැව හිමි වන බැවින් ඉන්ධන පිළිබඳ මේ වන විට පැන නැඟී ඇති ගැටලුව  විසදෙන බවත්, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතාව පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් රටට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන රජය සතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය වසර දහයක කාලයක් තුළ ඛනිජ තෙල් සංස්ථාවේ සංවර්ධනයක් සිදු නොවූ බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් පෙන්වා දුන් අගමැතිවරයා ඊ‍ට පිළියම් ලෙස චීන රජය සමඟ එක්ව හම්බන්තොට නව ඉන්ධන පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු සම්පාදනය කරන බවත් සඳහන් කළේය.

මීට අමතරව ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි සංකීර්ණය සංවර්ධන කටයුතුද ඉන්දියාව සමඟ එක්ව සිදු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

2003 අපේ ආණ්ඩුව යටතේ ඉන්දියන් ඔයිල් සමාගම සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරිමේ ගිවිසුම් ඇති කළේ ඒ වන විට තෙල් ටැංකි හදන්න ලංකා ආර්ථිකයට, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාවක් තිබුණේ නැති හින්දා. පසුගිය කාලේ අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වනවිට ‍තෙල් ටැංකි ටික හදලා. නමුත් ඒක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.අපි 2015 බලයට පත් වුණාට පස්සෙ ඉන්දියාව එක්ක එකතුවෙලා ඒ ටැංකි දියුණු කරන්න අපි එකඟත්වයක් ඇති කර ගත්තා. ඉන්දියාව සමඟ එකට එකතු වෙලා සංවර්ධන වැඩසටහන් ආරම්භ කළා. පසුගිය වසර 10 තුළ තෙල් ටැංකි සංවර්ධනය කරන්න තරම් ආර්ථිකයක් ඛනිජතෙල් සංස්ථාවට තිබුණේ නැහැ.

තෙල් සංස්ථාවට විශාල ණයක් තියෙනවා. ඉන්දියාව මාර්ගයෙන් එකතුවෙලා වැඩ කරමු කියා සාකච්ඡා කරගෙන යන්නේ, මේවා දියුණු කරන්න. තෙල් ටැංකි මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. තව පිරිපහදුවක් හම්බන්තොට හදන්න යනවා. චීනයෙන් තෙල් පිරිපහදුවක් දෙන්න කැමතියි. මේකයි ඇත්ත තත්ත්වය.

තෙල් ගන්නව ද? නද්ද? කියලා තීරණය කරන්නේ කොමිටියකින්. මේ රටේ පෙට්‍රල් වර්ජනයක් තිබුණු අවස්ථාවේ අයි ඕ සී තිබුණු එක වාසියක් වුණා. තෙල් නැවට වුණේ මොකක්ද කියලා හොයනවා. මේ දින කීපයට තෙල් තිබෙනවා. අයි.ඕ.සී එක නිසා මේ ඉන්ධන අර්බුදය ඇති වුණේ කියලා එකඟ වෙන්නේ බැහැ. තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News