ශ්‍රී ලංකාව “ලැජ්ජා සහගත” ටෙස්ට් තරගාවලි පරාජයක

Share

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ඉනිමකින් පරාජය වූ පළමු වතාව ද මෙයයි. ක්‍රීඩා විස්තර විචාරකයන් එය හැඳින්වූයේ ‘ලැජ්ජා සහගත පරාජයක්’ ලෙසිනි.
දින තුනක් ඇතුළත තුන් වෙනි තරගය අවසන් වූ අතර, සිය ඉනිම් දෙකේදීම ලකුණු දෙසීයේ සීමාවට හෝ ලඟා වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.

පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් පරාජය වූ ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගය පරාජය වූයේ ඉනිමකින් සහ ලකුණු 53 කිනි.
‘දැවැන්තම පරාජය’
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියක ලද දැවැන්තම පරාජය මෙය බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
තරග 3-0 ලෙස ශ්‍රී ලංකාව මින් පෙර ශ්‍රී ලංකා භුමියේ පරාජය වූයේ 2004 වසරේදී ඕස්ට්‍රේලියාව සමග පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය පරාජය වූ නමුත් සෑම තරගයකම පළමු ඉනිමේ ඉදිරියෙන් සිටීමට හෂාන් තිලකරත්නගේ නායකත්වයෙන් තරග වැදුණු එම කණ්ඩායම සමත්විය.
ඉන්දියාව සමග පැවති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව කිසිදු තරගකාරී බවක් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ඉන්දීය විචාරකයෝ පවා විමතිය පළ කළහ.

ඉන්දීය ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බව පැවසූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්, ශ්‍රී ලංකා වත්මන් කණ්ඩායමට ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් පරාජය කිරීම පවා අසීරු වනු ඇති බව තරගාවලිය ගැන විස්තර කථනයේ යෙදෙමින් ප්‍රකාශ කර තිබුණි.
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන දිනා සිටින ඉන්දියාවේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසක් ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 තුළ සිටිති. මීට ඉහතදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගාවලිය පරාජයවීමෙන් අනතුරුව එවකට කණ්ඩායමේ නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස් විය. ඊට පෙරාතුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිහිපයක්ම පරාජයට පත්විය.

Read more

Local News