පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවිය යුතුයි – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධ ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

පෙර පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ගේ ජීවිතවල මූලික පදනම සකස් කරන බැවින් පෙර පාසල් අධ්‍යාපනය යනු සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු අංශයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එබැවින් පෙර පාසල් ගුරුවරුන් නිවැරදි ලෙස පුහුණු කළ යුතු බවත් එ් සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ද රජය අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය එක්ව පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට අදාළ වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගන්නා බවයි.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇති මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පෙරපාසල් 150 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ මෙම උත්සවය පසුගිය දා පැවැත්වුණේ කුලියාපිටිය අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Read more

Local News