සහරාන්ගේ ගෝලයින් 63ක් අත්අඩංගුවට

Share

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි.

තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉස්ලාම් ධර්මයට හා  ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.

මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.

මඩකලපුව කොට්ඨාස බාර පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.කේ.කස්තුරිආරච්චි මහතා ප්‍රමුඛ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිති.

Read more

Local News