ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ සිද්ධියෙන් හානි වු දේපළ සඳහා වන්දි

Share

පාර්ලිමේන්තු සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේ ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හානි වූ දේපළ සඳහා වන්දි ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට රජය උත්සුක වූ බව පැවැසූ ඇමැතිවරයා පසුගිය රජය මෙන් ක්‍රියා නොකර සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බව ද පැවැසුවේ ය.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව එම කටයුතු සම්පාදනය කිරීමට ක්‍රියා කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු ඇතුළත් පිළිතුරක් නීතිය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

සිද්ධිය පිළිබඳ පොලිස් පැමිණිලි හා දේපළ තක්සේරු කටයුතු කිරීම කඩිනම් කිරීම ලෙස ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙන බව ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජයේ ඇමැතිවරු එසේ පැවැසූහ.

Read more

Local News