විශ්‍රාම පුර්වක යුද්ධ හමුදා සාමාජිකයින්ට වෘත්තීය පාඨමාලා

Share

යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවෙන් නුඳුරේ දී විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඵලදායිතාවය වෘත්තීය නිපුණත්වයකින් යුතුව තවදුරටත් සමාජයට ලබාදීමේ අදහසින් සහ ඔවුන්ට අමතර ආදායමක් උපයාගැනීමට අවස්ථාව සලසමින් ජලනල කාර්මික, වඩු කර්මාන්තය, පෙදරේරු වෘත්තිය, විදුලි කාර්මික සහ තොරතුරු තාක්ෂණ මෘදුකාංග ආදී වෘත්තීන් හි විධිමත් පුහුණුවක් ලබාදීම යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව විශ්‍රාම පුර්වක යුද්ධ හමුදා සාමාජිකයින්ට පිළිගත් ජාතික වෘත්තිය තත්ත්ව සහතික (NVQ) ලබාදීමේ අරමුණින් පසුගියදා යුද්ධ හමුදාව හා පොළොන්නරුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය සමඟ එක්ව දැනුවත් කිරිමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරින් 23 ක් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 25 ක් සහභාගි වූ අතර, එම අවස්ථාවට සහභාගි වු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, නුඳුරේ දී විශ්‍රාම යන යුද්ධ හමුදා සාමාජිකයින් මෙවැනි වෘත්තීය සුදුසුකමක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදි.

යුද්ධ හමුදා සමාජිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් අද වන විට ජාතික සංවර්ධන ව්‍යාපෘතින්හි අනුයුක්තව සේවය ඉටුකරන අතර ඔවුන්ගේ වෘත්තිය ප්‍රවීණත්වය හරහා විශ්‍රාම වැටුප හා ‍අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව අතිරේක ආදායමක් උපයා ගැනීමට ඒ අනුව මඟපෑදෙනු ඇත.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ පුහුණු කිරිම් නිලධාරි කේ.ඒ.එච්. කීන්වින්න මහතා ද සමාරම්භක උත්සවයේ දේශනයක් පවත්වන ලද අතර, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු යු.ජි.එන් සමීර මහතා සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු මෙම සමාරම්භක අවස්ථාව සඳහා එක්ව සිටියහ.

විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණත්වය ජාතික මට්ටමේ පිළිගත් තත්ත්ව සහතිකයක් හරහා මේ අනුව ඇගයීමට ලක් කෙරෙනු ඇත.

Read more

Local News