වරින් වර සිදුවන විදුලි බිදවැටීම් යථා තත්ත්වයට පත් කරන බව රවී කියයි

Share

ස්ථාවර විදුලි ජනන සැලැස්මක් තුළින් වරින් වර සිදුවන විදුලි බිදවැටීම් යථා තත්ත්වයට පත් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ ඊයේ(14) පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පුදපූජා රාශියකට සහභාගි වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් නිසි පරිදි ලබාදෙන්නේනම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇති නොවන බවද ඒ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය නිසි ඉදිරි දැක්මක් නොමැතිව කටයුතු කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණක් සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට ගැටළුවලට මැදිහත් වන්නට ඉඩ නොදිය යුතු බවද ඒ මහතා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා.

මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා.

තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමඟ කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න.

විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කරුණානායක මහතා කතරගම පුදබිමේ, පිවිසුම් මාර්ගයන්හි පැවති විදුලි අඩුපාඩු සම්පූර්ණ කරදීම සහ කතරගම පූජා භූමියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ, කතරගම බස්නායක නිළමේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමියද අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පුදකරන ලදී.

“ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්.

නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා.

මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ.

අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ.

මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ ” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News