බැසිල්ට එරෙහි නඩුව ඔක්තෝබර් 16 දාට කල්යයි

Share

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව අද(18) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී  දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍රමූල්‍ය බැංකු අංශයේ කළමනාකාරිනිය නිලන්ත මීවැඩුම මහත්මිය සාක්ෂි ලබාදුන්නේය.

එහිදී සාක්ෂිකාරිය කියා සිටියේ දිවිනැගුම ආධාර ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීමට යොදා ගන්නා ලද අරමුදල් දිවිනැගුම බැංකු පද්ධතිය තුළ තිබූ මුදල් බවයි.

ඒවා රජයේ අරමුදල් නොවන බවත් එම මුදල්වල හිමිකරුවන් දිවිනැගුම ආධාර ලාභීන් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 16 වනදාට කල් තැබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා දිවි නැගුම අරමුදලින් රුපියල් මිලියන 2994 ක මුදලක් වැය කිරීම තුළින් රජය අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා ගොනුකර තිබුණි.

Read more

Local News