පූජිතට, හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

Share

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා අද(18) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතේ සඳහන් වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත මගින් නිශ්චිත බුද්ධි තොරතුරු නොසලකා හරිමින් මෙම සැකකරුවන් සිය ගණනක් ජීවිත බිළිගැනීමට ඉඩහැරීම මිනීමැරීමේ චෝදනාවක් ලෙස මහාධිකරණයට පෙන්වා දුන් බවයි.

එය මහේස්ත්‍රාත් අධිකරණය විසින් බැහැර කිරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවලියක් බව ද නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

Read more

Local News