පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් ගැන පරීක්ෂණ සිදුවෙනවද ?

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වරදකරුවන් සහ ඒ පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා ගැනීමට ආණ්ඩුව මෙතෙක් පරීක්ෂණයක් සිදුකර නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජා ඇල, බෝරජ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ජා ඇල, බෝරජ විහාරයේ ඉදිකළ සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කර පූජා කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, පසුගිය දා එල්ල වු පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තෝ කවුරුන් ද යනුවෙනි.

වසර 30 ක් පැවති යුද්ධය අවසන් කර මිනිසුන්ට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමේ හැකියාව ලබා දීමට තමාට හැකි වු බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, එම වාසනාව වසර 10 ක් පුරා තබා ගැනීමට නොහැකි වු බවද පැවසීය.

මෙයට වරදකරුවා කවුරුන්ද මෙහි පිටුපස සිටින්නේ කවුරුන්ද, මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙය වුයේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් අද වෙන තුරු නොමැති බවද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේවා පිළිබඳව සොයා බැලිය යුතු බවත් යම් දෙයක් සැඟවීමට උත්සහ දැරීමෙන් සංහිඳියාව ඇති නොවන බවත් පැවසු ඒ මහතා, සැකය ඇති වීමට සියලු දේට හේතු වෙන බවද පැවසීය.

සියලු දෙනාටම පන්සලට, පල්ලියට යෑමට නිදහස තිබිය යුතු බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පෙරහැරක් බලන්න යන්න පවා නිදහසක් පැවතිය යුතු බවද කියා සිටියේය.

කෝවිලකට හෝ පල්ලියකට යෑමට ඉඩ තිබිය යුතු බවත්, අද මේ සියල්ල අහිමි වී ඇති බවත් පැවසු රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව නොමැතිව, ඉදිරියට යා නොහැකි බවද පැවසීය.

19 වන ව්‍යවස්ථාව තුළ ඇති වී තිබෙන බල විකෘතිය තුළ ජනපති හා අගමැති ස්වාධීනව වැඩ කරනු ලබන බවත් කථානායකවරයාත් තමාට රිසි පරිදි වැඩ කරනු ලබන බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව මේ තුළින් වේදනා විඳින බවත් කියා සිටියේය.

මේ අතර ජා ඇල, මා එළිය ජෝන් පාවුලු මධ්‍යස්ථානයේ ආචාර්ය කුරුකුලසූරිය පියතුමාගේ පූජකවරයේ 57 වැනි සැමරුමටද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) එක් විය.

Read more

Local News