රට ඉදිරියට ගෙනයන විදිය ගැන සජිත් කියයි

Share

දස රාජ ධර්ම කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් තුළ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යන ශක්තිමත් ගමනක් නිර්මාණය කළ යුතු බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සිදුකළ ශාසනික මෙහෙවර අගයමින් මල්වතු මහා විහාර පාර්ශවය විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත පසුගිය මාර්තු 31 දින පිරිනැමූණු ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය, අස්ගිරි මහා විහාර පාර්ශවයද ඒ අයුරින්ම පිළිගැනීම වෙනුවෙන්, ශාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මදස්සි මහානාහිමියන් විසින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමීම අද (12) අස්ගිරිය විහාරීය උපෝසථාගාරයේදී සිදු කෙරුණි.

මහනුවර, අස්ගිරිය මහා විහාරයේ ඉදිකළ බටහිර ප්‍රවිශ්ට වාහල්කඩ සඝසතු කිරීමේ පුන්‍යෝත්සවයේදී අමාත්‍යවරයා වෙත මෙම සමරු තිළිණය පිරිනමණු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ, රට ආරක්ෂා කරගනිමින් සෞභාග්‍ය කරා ගෙන යාමට මෙරට සියලු ජනතාව සැදී පැහැදී සිටින බවත්, ගෞරවනීය මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා මත එම ගමන යාමට තමන් ඇප කැප වන බවත්ය.

අස්ගිරි මහා විහාරය මුල් කරගත් මහා විහාර පාර්ශවයේ විහාරස්ථාන පද්ධතිය තුළ පවතින අඩුපාඩුකම් සියල්ල කෙටි කාලයක් තුළ සම්පූර්ණ කර සම්බුද්ධ ශාසනය බබලවන යුගයක් තමන් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමි සහ අස්ගිරි මහා විහාරයේ ලේඛකාධිකාරී මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, රජ්‍ය ව්‍යවසාය සහ කන්ද උඩරට උරුමය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්, සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ශ්‍යාමෝපාලික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදයද ලබා ගන්නා ලදි.

Read more

Local News