නවලෝක රෝහලට නවතම සුවසේවා ගොඩනැගිල්ලක්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් සමාගම වන නවලෝක රෝහල පෞද්ගලික රෝගී සත්කාර ක්ෂේත්‍රයෙහි අද්විතීය වෙනස්කම් රාශියක් සිදු කර තිබේ. එම ගමන් ම‍ඟෙහි තවත් වැදගත් පියවරක් තබමින් විශේෂඥ චැනලින් සේවා ඒකකයකින් සහ රථගාලකින් සමන්විත නවතම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට නවලෝක රෝහල පසුගිය දා කටයුතු කළේය.

නවීන ඉදිකිරීම් සංකල්පයන් සහ ගෘහනිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය පදනම් කර ගනිමින් ඉදිකළ මේ බහුකාර්ය ගොඩනැගිල්ලෙහි ඇති රථවාහන නැවැත්වීමේ ඉඩකඩ නිසා රථ වාහන 600කට අධික සංඛ්‍යාවක් නවත්වා තැබීමේ හැකියාව ලැබී ඇත. ඊට අමතරව එක් එක් ක්ෂේත්‍රයන්ට අනුව වෙන් කර ඇති විශේෂඥ වෛද්‍ය චැනලින් සේවා සඳහාද මෙහි ඉඩකඩ වෙන්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නවලෝක රෝහල් සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සිදු විය. ආරාධිත අමුත්තන් අතින් මෙහි සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව නවලෝක රෝහලේ දිගුකාලීන සේවාවක් සපිරූ සේවක සේවිකාවන් ඇගයීමටද ලක් කරන ලදී.

මීට වසර 32කට පෙර ඇරැඹි නවලෝක රෝහල මේ වන විට ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයෙහි ඉදිරියෙන්ම සිටින රෝහල බව අවිවාදයෙන් පිළිගත හැක. රෝහල්, ඔසුසල්, Wellness මධ්‍යස්ථාන සහ රෝග විනිශ්චය සායන ඇතුළු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයෙහි දැවැන්ත වෙනසක් කිරීමට නවලෝක රෝහල සමත්ව සිටී. සායනික විශිෂ්ටත්වය, දැරිය හැකි සේවා ගාස්තු, නවීන තාක්ෂණික භාවිතාවන් සහ ඉදිරි අනාගතය දෙස විමසිලිමත්ව සිටීම වැනි සාධක නිසා නවලෝක රෝහල සිය ස්ථාවරත්වය පහසුවෙන් රඳා පවත්වා ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය සංවර්ධනය උදෙසා නවලෝක රෝහල සිදුකර තිබෙන දායකත්වය අතිමහත් වන අතර නවීන උපකරණ සහ තාක්ෂණික නව්‍යකරණයන් සිය ක්ෂේත්‍රයට හඳුන්වා දීමටද ඔවුහු කටයුතු කර තිබේ.

නවලෝක රෝහල් සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් මෙසේ සිය අදහස් දක්වා සිටියේය. ‘රෝගී අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරව ලබාදිය හැකි උපරිම මෙහෙවරක යෙදී සිටීම විශිෂ්ට පාරිභෝගික සේවාව යන කරුණු කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම නිසා මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අප වෙත පැමිණෙන පාරිභෝගික පිරිසට උපරිම පහසුවක් අලංකාර පරිසරයක් සකස් කිරීම සහ රෝගී සත්කාරයේ උපරිම අත්දැකීමක් ලබාදීම අපගේ වගකීමයි. මේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් ඒ සඳහා තවත් සහයෝගය හිමි වෙනවා.’

නව ගොඩනැගිල්ලේ ආකර්ෂණීය නිමාව මත මැවී තිබෙන සුන්දර දසුන් රෝහලට පැමිණෙන්නන්ගේ නෙත් පිනවීමට සමත් වන අතර, නව ගොඩනැගිල්ලේ රැඳී සිටීමේ අංශය තුළ පිහිටි ළමා ක්‍රීඩා පරිශ්‍රය සහ දිය සැරසිලි පාරිභෝගික මනසට සැහැල්ලුවක් ගෙන එනු ඇත. විශේෂඥතාව මත වෙන් කර ඇති විශාල ප්‍රමාණයේ වෛද්‍ය උපදේශන සේවා පරිශ්‍රයන් රෝගීන්ට පහසුව මෙන්ම සිතේ සැහැල්ලුව ඇති කිරීමට ද සමත් වේ. සෑම අතින්ම පාරිභෝගික පහසුව සලසන පරිදි මේ ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට නවලෝක රෝහල් සමුහය සමත්වී සිටී.

‘ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක්’ ලබාදීම යන අපගේ දැක්ම සමඟ හැමවිටම අපගේ සේවාවන් සමගාමීව පවත්වාගෙන යන බැවින් ඒ වෙනුවෙන් විශිෂ්ටතම හැකියාවන්ගෙන් යුතු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යෑම අපගේ සාර්ථකත්වය සඳහා විශේෂයෙන්ම හේතුවී තිබෙනවා. මේ සුවිශේෂත්වයන් නවලෝක රෝහලටම අනන්‍ය විශිෂ්ට සේවාවෙහි මූලිකාංගයන් ලෙස ඒවා හඳුන්වන්න පුළුවන්. අපගේ සුවිශේෂී සායනික සේවා, පහසු අය කිරීම් නිසා අපගේ සෞඛ්‍ය සේවාවෙහි වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ එම සේවාව තවදුරටත් ව්‍යාප්ත වෙනවා’ යනුවෙන් ධර්මදාස මහතා වැඩි දුරටත් අදහස් දක්වා සිටියේය.

Read more

Local News