කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරියේ දී පැවසුවේ කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක් ඉදිකරන බවත් එම ගුවන් මාර්ගයේ දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බී.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම රජයේ අරමුණ බව ද අවධාරණය කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික රජය රාජගිරිය ගුවන් පාලමේ වැඩ කටයුතු ආරම්භ කළා. වර්තමානයේ දී කොළඹ නගරාශ්‍රිතව විශාල වාහන තදබදයක් තිබෙනවා. අප මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ එම කාරණය හොඳින් අවබෝධ කර ගෙනයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීයි. දෙපසට තීරු දෙක බැගින් වෙන වෙනම ඉදිකරනවා වෙනුවට එක් වරම මංතීරු හතරම ඉදිකරන්නට අප තීරණය කළා.

එම නිසා අපට 2018 ජනවාරි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම පාලම විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. තීරු හතරම එක් වර ඉදිකිරීමට තීරණය කෙරුණු නිසා මේ ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වුණා. අපි ඒ කාරණය පිළිගත යුතුයි. නමුත් එම තදබදය කෙටි කලකින් අවසන් වී ගමන් පහසුව සැලසීමට හැකියාව ලැබෙනවා. මෙම පාලම ඉදිකිරීමේ දී වානේ කඳන් භාවිතා කළ නිසා අපට ඉක්මනින්ම පාලමේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට හැකියාව ලැබුණා.

මෙරට මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති වෙනවා. එම ප්‍රශ්න විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍යයි. මේ ආකාරයටම කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. එම මාර්ගයේ කොටසක් ලෙස රාජගිරිය එච්එස්බීසී ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. මෙවැනි මාර්ග ගණනාවක් ඉදිකිරීමට අප කටයුතු කරනවා.

රටේ ආර්ථිකය දියුණු වීමේ දී මාර්ග පහසුකම් අතශ්‍යවශ්‍යයි. සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම අපේ අරමුණයි. මහනුවර සිට හම්බන්තොට දක්වාම සීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීම අපේ බලාපොරොත්තු වී තිබෙනවා. එමෙන්ම තවත් බලාපොරොත්තුවක් වන්නේ කොළඹනගරයේ සහ මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීමයි. අපගේ නව මාර්ග ඉදිකිරීමේ වැඩසටහන නිසා එම නගරවල තදබදයන් බෙහෙවින් අඩුවේවි. මීට අමතරව සැහැල්ලු දුම්රිය යෙදවීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. මේ සියලුම දේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍යයි.

වාහන තදබදය නිසා ආර්ථිකයට වන හානිය අප හොඳින්ම අත්දැක තිබෙනවා. එමෙන්ම සමාජ ජීවිතයටත් විශාල කරදරයක් වී තිබෙනවා. එම සියලු කරුණු අවබෝධ කර ගෙන ක්‍රමානුකූලව ඊට විසඳුම් සෙවිය යුතුයි. මාර්ග තදබදය වැඩි වූ විට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන්නේ ආණ්ඩුවටයි. එම සාමාන්‍ය තත්ත්වයක්. එම නිසා මෙම තදබදයට විසඳුම් ලබාදීමට අප ක්‍රියා කරනවා. යැයි ද පැවසුවේය.

Read more

Local News