හලාවත මහා රෝහලේ අලුත උපන් බිළිඳා හා දෙදරු මවක් ජීවිතක්ෂයට

Share

හලාවත මහා රෝහලේ දී මවක් හා බිළිදෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් හලාවත රෝහල් පාලනාධිකාරිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

ඊයේ(03) දිනයේ දී මව මිය ගොස් ඇති අතර බිළිඳා මියගොස් ඇත්තේ පසුගිය 28 වැනි දිනයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි චාන්දනී විජේසිංහ නමැති 34 හැවිරිදි දෙදරු මවක් හා ඇයගේ අලුත උපන් බිළිඳායි.

පසුගිය 28 වැනි දින  පෙරවරුවේ චාන්දනී මහත්මිය පපුවේ දැවිල්ල ,කැරකිල්ල ඇතුළු රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත මහා රෝහලට පැමිණ ඇති ඇත.

ඒ වන විට ඇය අටමස් ගැබිණියක්ව සිට ඇති අතර, දරු ප්‍රසුතිය සඳහා දින තිබුණත් ඈ රෝහලට පැමිණීමේදී දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය සියලු බඩු බාහිරාදිය ද රැගෙන පැමිණ තිබේ.

එහෙත් ඈ පරික්ෂා කල හලාවත මහා රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඈ නිසි පරික්ෂාවකට භාජනය නොකල බව ඇගේ ඥාතීන් චෝදනා කරයි.

ඇගේ සැමියා වන දිමුතු නුවන් හේරත් මහතා කියා සිටියේ, තම බිරිදගේ හා දරුවාගේ මරණයට හලාවත
මහා රෝහල වගකිවයුතු බවයි.

“හලාවත මහා රෝහලේ හතේ කාමරයේ වෛද්‍යවරයාට තමයි මගේ නෝනා පෙන්නුවේ. බඩ දැවිල්ලයි කිව්වම එයා අහලා තිබුනා මොනවාද කෑවේ කියලා.

නෝනා කියලා තියනවා බල මාළුයි ,ඉදි ආප්පයි කියලා. ඒ එක්කම වෛද්‍යවරයා කියලා තියනවා නෝනට ගෑස්ටික් කියලා.

වෛද්‍යවරයා පෙෂර් බලල හෝ වෙන කිසිම දෙයක් බලලා නැහැ. අනික් කාරණේ තමයි, එයා වෙන කිසිම දෙයක් බලන්නේ නැතුව ගෑස්ටික්වලට බෙහෙත් දීලා තියනවා.

නමුත් ගෙදර ආවමත් වමනේ ගිය නිසා නැවත පල්ලම ඩිස්පැන්සරියට එක්කන් ගියා .එතන වෛද්‍යවරයා ගිය ගමන් පෙෂර් බලල පෙෂර් 190 ට නැගල කියලා වහාම හලාවත ගෙනියන්න කියලා තියනවා.

ඒ ගෙනියද්දීත් වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. නමුත් දරුවා ගත්තා දරුවා හිටියේ පැයකටත් අඩු කාලයක්.

නෝනා කොළඹ ගෙනිච්චා. කොළඹ තියන් හිටියේ පැය කීපයක් පමණයි. නැවත හලාවතට එව්වා 29 වෙනිදා.

කොහොම හරි නෝනා දවස් හතරක් ජිවත් වුනා. ඒ මැෂින්වලින්. නමුත් තුන්වෙනිදා එයා අන්තිම හුස්ම හෙලුවා.

මගේ නෝනා යේ එන්නේ නැහැ . නමුත් මම කියන්නේ ආයේ මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරන්න ඕනෑ කියලයි.”

මෙම මරණ සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණ මේ වන විට හලාවත රෝහලේදී පවත්වා ඇත .ඊට අමතරව මේ මරණ දෙක සම්බන්ධයෙන් හලාවත රෝහල මේ වන විට මුලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අමාත්‍යාංශ මට්ටමින් ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඇරෝෂ විජේවික්‍රම මහතා පැවසිය.

Read more

Local News