ගොඩබිමක ගැඹුරුම තැන මෙන්න

Share

ඩෙන්මන් ගැඹුර (තද නිල් පැහැයෙන්) කිලෝ මීටර 20ක් පළලින් හා කිලෝ මීටර 100ක් දිගින් යුතු අතර අයිස්වලින් පිරී පවතී.
ඩෙන්මන් ගැඹුර (තද නිල් පැහැයෙන්) කිලෝ මීටර 20ක් පළලින් හා කිලෝ මීටර 100ක් දිගින් යුතු අතර අයිස්වලින් පිරී පවතී.

මහාද්වීපික පෘථිවියේ ගැඹුරු ම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ.

අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි.

සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට තිබේ. එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළිකරයි.

එහි ඇති ලක්ෂණ අවබෝධය සඳහා ඉතා වැදගත් වන්නේ ඉන් දක්ෂිණ ධ්‍රැවය අනාගතයේදී කෙසේ වෙනසකට ලක් වේදැයි දැනගත හැකි බැවිනි.

“මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක් දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රණයක්” යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර හයක් ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් පැවසීය.

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඔහු, “BedMachine Antarctica” නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූභෞතික සංගමයට (American Geophysical Union) ඉදිරිපත් කළේය. එසේ ම ඊට සමගාමීව Nature Geoscience නම් සඟරාවේ ද පළකර ඇත.

මහාද්වීපය පිළිබඳ ගුවනින් කරන ලද සමීක්ෂණවල පැවති සියලු හිඩැස් අලුත් සිතියමින් සම්පූර්ණ වී ඇත.

අභ්‍යන්තරයේ ඇති පාෂාණවල භූලක්ෂණ හඳුනා ගැනීම සඳහා ක්ෂුද්‍රතරංග අයිස් තට්ටු විනිවිද යවමින් දශක ගණනක් පුරා රේඩාර් උපකරණ ඇන්ටාක්ටිකාව එහා මෙහා යොමු කෙරිණි. නමුත් දත්ත සොයා නොගැනුණු විශාල ප්‍රදේශයක් ඉතිරිව තිබේ.

“සාගරවල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි, නමුත් මෙය ගොඩ බිමක ඇති ගැඹුරු ම තැනයි,” යැයි ආචාර්ය මෝර්ලිඝම් පැහැදිලි කළේය.

සාගරයේ ගැඹුරු ම ස්ථානය බටහිර ශාන්තිකර සාගරයේ (පැසිෆික් සාගරය) පිහිටි මරියානා අගාධයය. එය මුහුදු පෘෂ්ඨයේ සිට කිලෝමීටර 11ක් ගැඹුරට විහිදේ. චීනයේ යාර්ලුන්ග් ට්සැන්පෝ වැනි උස්වූ පැති සහිත ගොඩබිම් අගාධ වෙතත් ඒවායෙහි පතුල පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමින් ඉහළය.

බයිර්ඩ් ග්ලැසියරය, මහා අන්ටාක්ටිකානු කඳුවැටිය හරහා ඇදෙන දැවැන්ත අයිස් දහරකි.
බයිර්ඩ් ග්ලැසියරය, මහා ඇන්ටාක්ටිකානු කඳුවැටිය හරහා ඇදෙන දැවැන්ත අයිස් දහරකි.

BedMachine Antarctica තොරතුරු සංග්‍රහයේ ඇතුළත් තොරතුරු වැඩි ප්‍රමාණයක් මීට පෙර සිතියම්වල වූ ඒවාට වඩා වෙනසක් නැති බව (බැලූ බැල්මට) පෙනෙන්නට හැක. නමුත්, ධ්‍රැව පිළිබඳ විශේෂඥයින් අතර සැලකිය යුතු තරමේ සාකච්ඡාවක් ගොඩනැගීමට තරම් වන ආකර්ෂණීය තොරතුරු ඒ අතර ඇති බව සමීපව නිරීක්ෂණය කළ විට පෙනේ.

උදාහරණයක් ලෙස ගතහොත්, මහා ඇන්ටාක්ටිකානු කඳුවැටි දිගේ මහාද්වීපයේ නැගෙනහිර සානුවේ සිට රොස් මුහුද වෙත ඇදී යන ග්ලැසියර මාලාවක් තිබේ. නව දත්තවලින් පෙන්නුම් කෙරෙන පරිදි මේ ග්ලැසියර යටින් ඇති උස් වැටි නිසා එම ග්ලැසියර සානුවට ගලා යාමේ වේගය සීමා කෙරෙනු ඇත. රොස් මුහුද මත දැනට ඇති පාවෙන අයිස් තට්ටුව, අනාගත උණුසුම් තත්ත්වයකදී අස්ථාවර කෙරෙන්නේ නම් මෙය වඩා වැදගත් වනු ඇත. මෙහි ඉවත්වීම හේතුකොටගෙන පෝෂක ග්ලැසියරයේ ඇදී යාමේ වේගය වැඩි වනු ඇතැයි සාමාන්‍යයෙන් අපේක්ෂා කෙරේ.

“රොස් මුහුදේ අයිස් තට්ටුවට කිසියම් දෙයක් වුණොත් – දැනට එහි පවතින තත්ත්වය හොඳයි, ඒත් කිසියම් දෙයක් වුණොත් – මේ ‘ද්වාර’ තුළින් නැගෙනහිර ඇන්ටාක්ටිකාව කඩා වැටීමේ තත්ත්වයක් බොහෝවිට උද්ගත නොවේවි. නැගෙනහිර ඇන්ටාක්ටිකාවට යම් තර්ජනයක් වෙයි නම්, ඒ රොස් මුහුදින් නෙවෙයි,” ආචාර්ය මෝර්ලිංහම් පැවසීය.

ඇන්ටාක්ටිකාව සිතියම්ගත කිරීමට ගුවන් උපකරණ භාවිත කෙරුණ ද තවමත් දත්තවල විශාල හිඩැස් තිබේ.
ඇන්ටාක්ටිකාව සිතියම්ගත කිරීමට ගුවන් උපකරණ භාවිත කෙරුණ ද තවමත් දත්තවල විශාල හිඩැස් තිබේ.

මහා ඇන්ටාක්ටිකානු කඳුවැටියේ පවතින මේ තත්ත්වය වෙනුවට, ත්වයිටීස් (Thwaites) ග්ලැසියරයේ වේගවත් දියවීමට එරෙහි අවහිරතා කිහිපයක් BedMachine Antarctica විසින් හඳුනාගනු ලැබ ඇත. ප්‍රමාණයෙන් එක්සත් රාජධානිය තරම් වන මේ විශාල අයිස් දහර, මහාද්වීපයේ බටහිර දෙස පිහිටි ඇමුන්ඩ්සෙන් (Amundsen) මුහුදින් අවසන් වේ.

ඉදිරි ශතවර්ෂවලදී පෘථිවි උෂ්ණත්වය ඉහළ යද්දී ඇන්ටාක්ටිකා මහාද්වීපය කෙසේ පරිණාමය වනු ඇත්දැයි ප්‍රක්ෂේපණය කිරීමට උත්සහ දරන දේශගුණික ආකෘතිවලට BedMachine Antarctica තොරතුරු සංග්‍රහයෙන් යම් පෝෂණයක් ලැබෙනු ඇත.

Read more

Local News