හිටපු ඇමති පාඨලී අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල්ගෙන් නිවේදනක්

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායන්ට පටහැනිව සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් ද මෙහිදී උල්ලංඝනය කර ඇති බවත් මෙය සිදු කර ඇත්තේ කථානායකවරයා දැනුවත් කිරීමකින් තොරව බවත්ය.

එසේම පාඨලී චම්පික අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අවසන් වු නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බවත් එසේ කිරීමට සාධාරණ හේතු මේ වනතුරු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව ඇති බවත් නිවේදනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

පසුගිය ආණ්ඩුව කටයුතු කළේ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට බවත් නමුත් විනය ගරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට ආ ආණ්ඩුවක් යටතේ සිදුවන මෙම කටයුතු දෙස බලද්දී දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංඝනය වීමක් පෙනී යන බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය හා කණස්සල්ල පල කර සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News