නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන්,ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඊයේ රාත්‍රියේ රෝහලට පැමිණ සිටියේය.
අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයක් මත අදාල රෝහලට ඇතුලත්කර තිබුණේ ඊයේ පස්වරුවේයි.
එහිදී හිටපු අමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබීම හේතුවෙන්, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට ඊයේ මධ්‍යම රාත්‍රීය වන තෙක්ම රැඳී සිටීමට සිදුව තිබුණි.
සුදුවෑන් මඟින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරක විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය දින දෙකේදීම රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගියද ඔහු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් එම ස්ථානවලින් පිටව ගියේය.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාජිත සේනාරත්න මහතා නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව ඇත.
ඒ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ පස්වරුවේ රෝහල් පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.
ඒ වනවිටත් රාජිත සේනාරත්න මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබූ බැවින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක්ම හැකිව තිබුණේ නැත.
මේ අතර රාජිත සේනාරත්න මහතා රැඳී සිටින රෝහල වෙත ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණ සිටියේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජිත සේනාරත්න මහතා බැලීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ විට පළමුවෙන්ම සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමයි.
අනතුරුව ඒ බව මහේස්ත්‍රාත් වෙත දැනුම්දීම සිදු වන අතර මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම මීලඟ පියවර වනවා.
ඒ අනුව ඉන්පසුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතට පත් කෙරෙනවා.
මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පලකළ,එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා පිළිබඳව නඩු විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇත.
එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.