ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Share

ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටියහ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප‍්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථික සංවර්ධනය, විශේෂ සංවර්ධන ව්‍යාපෘති , විදේශ වෙළෙඳාම ආදී ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව පසුගිය කාලය පුරා ගෙනගිය වැඩසටහන්වල විශාල ප‍්‍රගතියක් දක්නට තිබෙන බව එම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.
නව තාක්ෂණය, රැකියා ප‍්‍රවර්ධනය සහ අධ්‍යාපන අවස්ථාවන් වඩාත් ඵලදායී කර ගැනීමට දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන්නේය.

Read more

Local News