කම්කරු අණ පනත් සංශෝධනයට පියවර

Share

මෙරට කම්කරු අණ පනත් රැසක් සංශෝධනය කිරීමට තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ඒ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති හමුවකදී ය.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමේ අවස්ථාව සලසමින් පනත සංශෝධනය කෙරෙනු ඇති.

අමාත්‍යවරයා සඳහන් කළේ, කම්කරු විනිශ්චය සභා ලබාදෙන නියෝග ඒ තුළින්ම බලාත්මක කිරීම සඳහා නීති සංශෝධන ගෙන එන බවයි.

පාරිතෝෂිත දීමනා පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන තවත් පනතක්.

ඊට අදාළ ගෙවීම් සම්බන්ධ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට අපේක්ෂිතයි.

පඩි පාලක සභා ආඥා පනත මෙන්ම සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අය වැය දීමනා පනත යටතේ වන අය කර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභාවලට යොමු කෙරෙනු ඇති.

සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් පන් ලක්ෂ පනස් දහසක වන්දිය රුපියල් ලක්ෂ 20 ක් දක්වා ඉහළ නංවමින් සංශෝධන ගෙන එන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

අදාළ අණ පනත් සංශෝධනය කිරීමට මූලික හේතුව වන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු අධික වීමයි.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කෙටුම්පත් සතියක් තුළ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබා දෙන්නැයි අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේ ය.

Read more

Local News