ජනපති නෙළුව-ලංකාගම මාර්ගය නැරඹීමට යයි – මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී

Share

සිංහරාජ වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන ලෙස නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

 

මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වන රක්ෂිතයට හානි සිදුවන බව විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වීමත් සමඟ එහි ප්‍රතිසංස්කරණ කටයුතු නවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා අද(29) නෙළුව – ලංකාගම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.

ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය නිරීක්ෂණය සඳහා මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. ‍

මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

මෙහිදී සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ප්‍රදේශයේ ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read more

Local News