UNP පළාත් පාලන නියෝජිතයින් 38ක් ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය‍

Share

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වන දා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

 

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විවිධ ප්‍රදේශ නියෝජනය කරන 38 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද(02) සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ට සහාය පළකළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා තම සේවා දායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවය.

ඒ අනුව අදාළ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාව නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අද සවස පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ දේශනය ඉදිරිපත් කිරීම ලබන 09 වන දා තෙක් කල්තැබුණි.

මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන හෙයින් පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස පළාත් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

Read more

Local News