මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්

Share

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා  දී තිබේ.

 

ඉදිරි මහ කන්නයේදී රජය, මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කළේය.

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම , අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු, වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන්  සුදානම්ව සිටින බවත් මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.

වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ දැක්වේ.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදි පවසා ඇති අතර, බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවද එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

Read more

Local News