ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධනයට සැලසුම්

Share

මෙරට සමස්ථ විදුලි අවශ්‍යතාවෙන් 70%ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස්කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවෙමින් සිටින අතර මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩි වීම 6%ක් බවයි.

තවද සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ද ගණන් බලා ඇති අතර මෙම තත්ත්වයන් හමුවේ අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට ඇති තිරසර සංවර්ධනයකට මඟපාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ඊයේ (14) පස්වරුවේ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමේ දී බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලුම් කළ අවස්ථාවන්වල දී දින 14ක් තුළ ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read more

Local News