මව්වරු සමඟ සිරගතව සිටින දරුවන් පිළිබඳ වාර්තාවක් අගමැතිට බාර දෙයි

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත මව්වරු සමග සිටින දරුවන් 46 දෙනෙකු පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ.

 

එම වාර්තා වේ සඳහන් කරුණුවලට අදාළව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයාබලන ලෙසත්, ඔවුන්ට නිදහස ලබාදීමට හැකි නෛතික පසුබිම සොයා බලන ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ දී ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යොමු කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යතුමියට මෙහිදී උපදෙස් දී තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් ගොවිපළ හා කර්මාන්තශාලාවලට යොමු කර, නිසි පුනරුත්ථාපන ක්‍රමවේදය සපිරූ යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සමඟ ඉදිරියේ දී සාකච්ඡා කොට සකස් කරන්නැයි ද අගමැතිවරයා අවධාරණය කර ඇත.

සිරකරු සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද(15) අරලියගහ මන්දිරයේ දී සිදුවු අතර එහිදී මෙම වාර්තාව පිළිගන්වා තිබේ.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read more

Local News