හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීම නොවැම්බර් මසට කල්යයි

Share

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ ව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම නොවැම්බර් 23 වන දා සලකා බැලීම සඳහා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

 

එම පෙත්සම අද(23) කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ නඩුව අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කැඳවීමට නියමිතව ඇති බවත් එහි එහිදී අනාවරණය වන කරුණු පදනම් කරගෙන මීළඟ නඩු දිනයේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධීන් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Read more

Local News