රටේ උද්ධමනය පහළට ?

Share

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබුණ ද ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගත වූ සැප්තැම්බර් මාසයේදී පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙන අතර එය 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී තිබෙන බවද මහ බැංකුව සදහන් කර තිබේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේ පැවති සියයට 12.3 හි සිට සැප්තැම්බර් මාසයේ දී සියයට 11.5 දක්වා පහළ ගොස් තිබෙන බවද ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේ පැවති සියයට 0.8 හි සිට සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගිය බවද වාර්තා වෙයි.

Read more

Local News