සිල් රෙදි නඩුව: අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් 13 වනදා ප්‍රකාශයට

Share

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම අභියාචනා පෙත්සම් අද(23) කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

එම අභියාචනාවලට අදාළ වාචික දේශන ඉදිරිපත්කිරීම ඉකුත්දා අවසන් කෙරුණු අතර ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පිළිබඳව තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කළ බව ද විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනාකරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබීය.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරන ලදි.

Read more

Local News