අගමැතිගේ ඡන්ම දිනයට සමඟාමීව කිරි අම්මාවරුන්ට දානයක්

Share

අද(18) දින පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විය.

 

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනයට සමඟාමීව පැවති කිරි අම්මා දානය මෙවර පැවැත්වුයේ 18 වෙනි වරටයි.

සෑම වර්ෂයකම ඡන්ම දිනයට සමඟාමීව පැවැත්වෙන මෙම දානමය කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසිනි.

ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නිරත වූ ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරුතර මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව, කිරි අම්මාවරුන් 76 දෙනෙකු උදෙසා කිරි අම්මා දානය පූජා කරන ලදී.

මෙහිදී, කොලොන්නාවේ ඉන්දු පෙරේරා මෑණියන් විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පත්තිනි මෑණියන් උදෙසා පූජාවක් පැවැත්වූවාය.

අග්‍රාමාත්‍යතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි හා පැමිණ සිටි සැදැහැවතුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ගැබිනි මාතාවන් සඳහා වියළි ආහාර මළු බෙදාදීම ද මීට සමඟාමීව සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සිරිපාල ගම්ලත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණරත්න මහත්ම මහත්මීන් ඇතුළු බැතිමතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

අද දිනට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය යෙදී තිබේ.

1945 වසරේ නොවැම්බර් මස 18 වැනිදා හිටපු නියොජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලද පර්සි මහින්ද රාජපක්ෂ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා,තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන විදුහල්වලින්ය.

සිය පියාගේ අභාවයෙන් පසුව ‍හම්බන්තොට , බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වූ රාජපක්ෂ මහතා 1970 වසරේදී මහ මැතිවරණය ජය ගෙන පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි.

1994 වසරේ පිහිටවූ පොදු ජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරය හොබවනු ලැබිය.

කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ කම්කරු ප්‍රඥප්තියක් මෙරටට හඳුන්වා දීමට මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ගත්තේය.

2004 වසරේ විපක්ෂ නායක ධුරයට පත් ඔහු 2005 වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබමින් මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

යළිත් වරක් 2010 වසරේදිත් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා තොරා පත් කරලීමට මෙරට ජනතාව තීරණය කළේ ය.

පසුව 2019 වසරේදි පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණි.

Read more

Local News