ලෝක ඒඩ්ස් දිනය අදයි

Share

ලෝක ඒඩ්ස් දිනය අද දිනට යෙදී තිබේ.

 

ලෝකයෙන් ඒ්ඩ්ස් තුරන් කිරීමට සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය හදුනාගැනීම සදහා මෙය මහගු අවස්ථාවකි.

මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම යන්නයි. මෙය කොවිඩ් වසංගතයද හේතුකොටගෙන නිර්මාණය කර ඇත.

ලංකාවේ HIV ආසාදිතයින් 3600ක් ඇස්තමේන්තුගත කර ඇති අතර, ඔවුන්ගෙන් 2304ක් HIV ඇති බවට හදුනාගෙන ඇත.

එමෙන්ම HIV ආසාදිතයින් 1845ක් සායන වලින් ප්‍රතිකාර ලබාගනියි.

පසුගිය වසර කිහිපය තුළ පෙනී ගිය සුවිශේෂී කරුණක් වූයේ වයස අවුරුදු 15 – 24 අතර යෞවනයන්ගේ HIV ආසාදනයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. 2019 වසරේදී නව ඒච් අයි වී ආසාදිතයන්ගෙන් 54ක් ඒනම් 12%ක්ම මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89%ක්ම පිරිමි පුද්ගලයන් වීමද විශේෂයකි.

ඒ අනූව ශ්‍රී ලංකාවේ ඒච් අයි වී වසංගත ව්‍යාප්තිය සලකමින් මෙම වසරේ ඒ්ඩ්ස් දින සැමරුම් තේමාව තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු ඒච් අයි වී වළකමු යන්නයි.

ශ්‍රී ලංකාව ඒච් අයි වී හෙවත් මානව ප්‍රතිශක්තීකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදනම් සහිත රටකි. අප රටෙහි ඒච් අයි වී ව්‍යාප්තිය 0.1 කටත් වඩා අඩු අගයක පවතී. නමුත් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන නව ඒච් අයි වී ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ඇත. ශ්‍රී ලංකාව තුළ ඒච් අයි වී අඩු අවදානම් තත්ත්වය ඒලෙසම පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙයි.

2019 වසර තුළ පමණක් නව ඒච් අයි වී ආසාදිතයින් 439ක් වාර්තා වී ඇති අතර ඉන් 359ක්ම පිරිමි පුද්ගලයන් වෙයි. ශ්‍රී ලංකාව තුළ ඒච් අයි වී පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ආසාධිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සබදතා පැවැත්වීම මගිනි. ඒයින්ද පිරිමි පිරිමි අතර පවත්නා සමලිංගික අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ඒච් අයි වී ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ සුලභව සිදුවෙයි.

මෙවර 2020 ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන වැඩසටහන විසින් පවසන්නේ තරුණ ප්‍රජාව ඒච් අයි වී ආසාදනයට ගොදුරු වීමට වැඩි නැඹුරුවක් දැක්වීමට හේතු ගණනාවක් ඇති බවයි. ඒනම්, අඩු වයසින් ලිංගික සබදතා වලට යොමු වීම, ඒච් අයි වී සහ ලිංගාශ්‍රිත රෝග පිළිබද දැනුවත්භාවය මද වීම, අවදානම් ලිංගික හැසිරීම් වලින් වැළකීමට ප්‍රමාණවත් කුසලතා නොමැති වීම, නවීන තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම, නොදන්නා පුද්ගලයන් සමග තාක්ෂණික සබදතා ඇතිකර ගැනීම, කිහිපදෙනෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒම හේතු සාධක වෙයි.

ඔවුන් පවසන පරිදි HIV වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සදහා ලිංගික අධ්‍යාපනය සහ ජීවන කුසලතා සංවර්ධනය කිරීම, විවාහය තෙක් ලිංගික සබදතා ප්‍රමාද කිරීම, ඒක් විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික සබදතා සීමා කිරීම, ලිංගික ඒක්වීමකදී සෑම විටම කොන්ඩමයක් භාවිතා කිරීම, HIV ආසාදනය සදහා අවදානමක් ඇති අය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සදහා යොමු කිරීම සහ ඒච් අයි වී සදහා ඇති අපකීර්තිය හා වෙනස් කොට සැලකීම් අවම කිරීමෙන්, අවශ්‍ය ප්‍රතිකාර හා රැකවරණය සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් වෙයි.

අද දින පැවති මාධ්‍ය හමුවකදී හෙටට යෙදෙන ලෝක ඒ්ඩ්ස් දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ HIV සහ කොවිඩ් යන රෝග දෙකම මර්දනය සදහා තරුණ පරම්පරාව බලකරණය කිරීම ඉතාම වැදගත් වන බවයි. එනම් වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සමග තරුණ ප්‍රජාවට පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වීම් ඇතැමුන් හටරැකියා අහිමිවීම් ආදිය හේතුවෙන් තරුණ ප්‍රජාව දැඩි මානසික ආතතියකින් පසුවන බවයි.

අප රට තුළ 1600ක පමණ පිරිසක් ඒච් අයි වී ආසාදිතව ප්‍රතිකාර නොලබමින් සමාජයේ ජීවත් වන බවද, තමා ආසාදිතයෙකුදැයි දැනගත හැක්කේ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පමණක් වන බවත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. HIV පරීන්ෂණය සිදුකරගැනීම මෙන්ම ආසාදිත සියලුදෙනාම ප්‍රතිකාර ලබාගැනීමද වැදගත් වෙයි. HIV ආසාදිතයින් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය හොද තත්ත්වයක පවත්වාගත හැකි වන අතරම ප්‍රතිශක්තීකරණය දුර්වල ඒච් අයි වී ආසාදිතයින් හට කොවිඩ් වැළදීමේ අවදානමක්ද පවතී.

අප රට තුළ HIV සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර සෑම දිස්ත්‍රික්කයකම සායන 42ක් මේ සදහා වෙන් කර ඇත. ඒමෙන්ම HIV පරීක්ෂණ ද නොමිලේ සිදුකරගැනීමේ පහසුකම් සලසා ඇත.

ප්‍රතිකර ලබන්නන්ගේ රහස්‍යභාවය සීයයට සීයක්ම ආරක්ෂා කරමින් ඒකවර මාස තුනකට ප්‍රතිකාර ලබාදෙන බවද, අදාල රෝගියාට අවශ්‍ය ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේය.

අනාරක්ෂිත ලිංගික චර්යා වලින් වැළකී ඒ්ඩ්ස් වෛරසය පරදමු.. ඒමෙන්ම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනයෙන් කොවිඩ් වෛරසය පරදමු.. මෙම වෛරස ද්විත්වයටම අනාරක්ෂිත භාවය හමුවේ ඔබේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්කළ හැක.

අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ස මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම පණිවිඩය පහතින්

වර්තමානයේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

වර්ෂ 1987 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ වූ අදහසකට අනුව ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන ජාත්‍යන්තර ඒඩ්ස් දිනයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව 1988 වර්ෂයේ පටන් සෑම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ජාත්‍යන්තර ඒඩ්ස් දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම වෙනුවෙන් වෙන් කර තිබේ. රාජ්‍ය හා සොඛ්‍ය බලධාරීන් විසින් ඒඩ්ස් ආශ්‍රිත මාතෘකා හා බැඳුනු කථා, සමුළු, පාගමන් සංවිධානය කරමින් ශ්‍රී ලංකාව තුළ ද මෙම දිනය සමරති.

2020 ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ “එච්.අයි.වී වසංගතය අවසන් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ බලපෑම අවම කිරීම යන්නයි”. ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක යටතේ 2030 දී ලෝකයෙන් ම ඒඩ්ස් තුරන් කිරීම අරමුණ වී තිබේ. ඒ අනුව වසර 2025 වනවිට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්කයට ගමන් කරමින් සිටියි. ඊට අවශ්‍ය සැළසුම් සකස් කර ඇති නමුත් සැළසුම් සකස් කළ පමණින් ඒඩ්ස් තුරන් කළ නොහැකි අතර, ඊට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාව විසින් ලබාදිය යුතු බව සිහිපත් කරමි. එය මුලු මහත් මානව ප්‍රජාවගේම වගකීමකි. එම වගකීම ඉටුකිරීමට අප විවාදයකින් තොරව බැදී සිටිය යුතුය.

ලෝකයේ සමස්ත එච්.අයි.වී. ආසාදිතයන් මේ වන විට මිලියන 37 ඉක්මවයි. වසරකට මිලියන 1.7ක් එච්.අයි.වී. නව ආසාදිතයන් බවට පත්වන අතර ශ්‍රී ලංකාව තුළ එය ප්‍රතිශතයක් ලෙස සියයට එකට වඩා අඩු සංඛ්‍යාවකි.

එය එසේ වුවත් ඒඩ්ස් වලට එරෙහිව සටන් කිරීම මෙන්ම ඉන් වැළකීම අපගේ අධිෂ්ඨානය විය යුතු අතර ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුය.

දැනට එච්.අයි.වී ආසාදනය වී සිටින පුද්ගලයන් සමාජයේ වෙනසකම්වලට ලක්නොවීමටත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස දැනුම් දීමත් අප කළ යුතුය.

ඒ නිසා එච්.අයි.වී ආසාදනයට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කර ගැනීමටත්, ඒඩ්ස් අවදානමෙන් පසුවන සියලු දෙනාම ඒ පිළිබඳව සැලකිලිමත් වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත් කිරීම උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.

Read more

Local News