ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලියේ ජයත් සියතට ගනී

Share

බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය ජයගත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ ෂිලාත්හිදී පැවැති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 75ක ජයක් හිමිකර ගනිමින් විස්සයි20 තරගාවලියද ජය ගැනීමට සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගත්තේ ය.

ලකුණු 211ක අසීරු ඉලක්කයක් හඹායෑම ඇරැඹු අතර පිළිතුරු ලෙස සත්කාරක බංග්ලාදේශයට ඕවර 18.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ අරාධනයෙන් ඉනිම ඇරැඹු කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 98ක් එක් ක‍‍ළේ පන්දු 66ක් පමණක් වැය කරමිනි.

පිතිකරු පෙළේ උසස් වීමක් සමගින් ප්‍රවේගකාරී පිතිකරු තිසර පෙරේරා දෙවැනි කඩුල්ලට කුසල් මෙන්ඩිස්ට එක්විය. ඔවුන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 149 දක්වා ඉදිරියට ගෙන ගිය අතර හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් පන්දු 17කින් ලකුණු 31ක් රැස්කළ තිසර පෙරේරා දැවී ගියේ ය.

ඊයේ සිය විස්සයි20 ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (70) රැස්කළ කුසල් මෙන්ඩිස් පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 29ක් පමණක් වැය කරමිනි.

ශ්‍රී ලංකාව ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සුට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකර දුන්නේය.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

Read more

Local News