වසර 397කට පසු සිදුවන විශේෂ ග්‍රහ සංයෝගයක් අද රාත්‍රියේ

Share

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු වසර 397කට පසු ඉතාමත්ව සමීපව විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස අද(21) පස්වරු 6.30 සිට රාත්‍රී 7.30 දක්වා බටහිර, නිරිත අහස දෙස පියවි ඇසින් බැලූ විට ඉතා චමත්කාර දසුනක් සේ දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

 

බ්‍රහස්පති සහ සෙනසුරු එකිනෙකට සමිප වෙමින් පැවැති අයුරු පසුගිය දිනවල දැකිය හැකි වූ අතර අද දින සිදුවන මහා ග්‍රහ සුසංයෝගය ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයකි.

අද (21) දින මෙම ග්‍රහලෝක දෙක අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණෙන බව සඳහන් කරන මහාචාර්යවරයා සෙනසුරු සහ බ්‍රහස්පතී රාත්‍රී 8.14 ට බැසයන බැවින් මෙය හොදින් නැරඹීමට නම් උස් ගස්වලින් හෝ උස ගොඩනැගිලිවලින් තොර බටහිර අහස හොදින් පෙනෙන ස්ථානයක් හෝ උස ස්ථානයක් සුදුසු බව ප්‍රකාශ කළේය.

සූර්යයා වටා ඇති ග්‍රහලෝකවල ඉලිප්සාකාර චලනයේ දී බ්‍රහස්පති ග්‍රහයා සෑම වසර 19.6 කට වරක් සෙනසුරු ග්‍රහයාට ආසන්න වන දුර්ලභ සිදුවීමක් ඇතිවන අතර අද සිදුවීම මෑත ඉතිහාසයේ දක්නට ලැබෙන ඉතාම ආසන්නතම අවස්ථාව වේ.

මීට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397 කට පෙර එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරේක්ෂය ගොඩනඟා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් හතර දෙනා, සෙනසුරුගේ වළලු සහ හිරු ලප සොයාගෙන වසර 13 කට පසුව 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය.

2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Read more

Local News