ලංකාවට කොවිඩ් එන්නත සැපයීමට එක්සත් ජාතීන්ගේ සහය

Share

කොරෝනා එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් විසින් ලංකාවට සහතිකයක් ලබා දී තිබේ.

 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළ බවය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව තිබේ.

එහිදී මෙම අභියෝගාත්මක කාලයේ දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද සිගර් මහත්මිය පවසා ඇත.

විශාල ප්‍රමාණයක් එන්නත් ලබාගැනීමේ දී ඒවා ලැබුණු වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයෝ අතර මෙහිදී එකඟතාවක් ඇති වී තිබේ.

“බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් පෙනෙන්නට තිබෙනවා” යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කර ඇත.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කොවිඩ්-19 ප්‍රවේශය වෙනුවෙන් “ACT-Accelerator” නමින් ගෝලීය සහයෝගීතාවයක් ඇති කර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්‍රවේශය වේගවත් කිරීම සඳහා ඊට සුදුසුකම්ලත් රටක ජනගහනයෙන් අවම වශයෙන් 20%ක් සඳහා එන්නත් මාත්‍රාවක් ලබා දෙනු ඇත. මුලදී ඉහළ අවදානම් කණ්ඩායම්වලට එන්නත් ලබාදීම සිදු වේ.

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් ටිම් සූටන් මහතා, මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයාට කියා සිටියේය.

කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්තද ජනතාව  පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළාය.

“එය තවමත් නව එන්නතක්,” යැයි කී වෛද්‍ය  පෙන්ඩ්සේ මහත්මිය “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි, නමුත් එය පැතිරයාම කොතරම් දුරට අඩු කරන්නේදැයි නොදන්නා බව” පැවසීය.

Read more

Local News