දේශපාලන අස්ථාවරත්වය විසඳීමට සියලු පක්ෂ ජනපති සමඟ සාධාරණව කටයුතු කළ යුතුයි

Share

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ(19) පස්වරුවේ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සියලු පක්ෂ සාධාරණව කටයුතු කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු තුමා,

මේ අවස්ථාවේ සෑම ශ්‍රී ලාංකිකයකුගේ සිත්වල තිබෙන පණිවිඩය මමත් ප්‍රකාශ කරනවා. රට තුළ සිදුවන දේශපාලන කුළල් කා ගැනීම් හා විවිධ දේශපාලන කණ්ඩායම් පිල්වලට බෙදී බලය තහවුරුකර ගැනීමට අනුගමනය කරන ක්‍රමවේදය දැන් නවතා දැමිය යුතුයි.

සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයන් රට පිළිබඳ, ජනතාව ගැන මේ අවස්ථාවේ සිතා කටයුතු කළ යුතු අතර පවතින දේශපාලන තත්ත්වය දිගටම පැවතියොත් ගැටලු ඇති වෙන බව පෙනෙනවා. මේ පිළිබඳ මල්වත්ත මහ නායක හිමියනුත් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී දේශපාලනඥයන් රටට තිබෙන ආදරය ඉදිරියෙන් තබා ගෙන සහ රට ආරක්ෂා කරගෙන රට දියුණු කරන්න කටයුතු කළ යුතුයි.

ජනාධිපතිතුමාට රට පාලනය කරන්න තව කාලයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා සමඟ එක්වෙලා පවතින ගැටලු විසඳා ගැනීමට සියලුම පක්ෂ සාධාරණව කටයුතු කළ යුතු බව අප ප්‍රකාශ කරනවා.

Read more

Local News