රත්නපුර ශික්ෂණ රෝහලට ලක්ෂ 50 ක් වටිනා PCR යන්ත්‍රයක්

Share

අද (04) දිනයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එකවර කොරෝනා පරීක්ෂණ 91 පමණ සිදු කළ හැකි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් රත්නපුර රෝහලට ලබා දෙනු ලැබිය.

 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “රත්නපුර රෝහලට PCR යන්ත්‍රය ලබාගැනීමට පළාත් ආණ්ඩුකාර තුමා ලබාදුන් නායකත්වය මම ඉතා අගය කරනවා. ඒ සදහා සහයෝගය ලබාදුන් පළාත් සභාව, ලංකා බැංකුව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුලු සියළු දෙනාට ස්තූතිය පුද කරනවා.”

“රට විවෘත කරමින් කොවිඩ් වෛරසය මර්දනයට අවශ්‍ය තැන් වල දී අවශ්‍ය පියවර ගනිමින්, වෛරසය සමග ජීවත් වන ආකාරය ජනතාවට අවබෝධ කර දෙමින් කටයුතු කළ යුතුව තිබෙනවා. එහිදී සෞඛ්‍ය අංශ වලට විශාල පීඩනයක් එනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මටත් විශාල වගකීමක් තිබෙනවා.  සෞඛ්‍ය අංශයේ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් මෙම බර එනවා. එම බර සහ පීඩනය දරා ගන්නේ සෞඛ්‍ය අංශය. ඔවුන් ජාතික වීරවරයෝ. ඔවුන් විශාල කැපකිරීමක් සිදු කරනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිදු කරන සේවය අපි අගය කරනවා. මම අමාත්‍යාංශයේ ලේකම් තුමාට උපදෙස් දුන්නා සමස්ත සෞඛ්‍ය කර්ය මණ්ඩලයේම පෞද්ගලික ලිපිගොනුවට ඔවුන් කළ සේවය අගයා  ලිපියක් යොමු කරන්න කියලා. ඔවුන් කළ සේවය අප සදාතනිකව අගය කරනවා.”

මෙම PCR යන්ත්‍රය ලැබීමත් සමග රත්නපුර ශික්ෂණ රෝහල තුලින් සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නංවමින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර,  රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලීන් පෙරේරා, පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, හිටපු පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝටාගම මහත්මිය සහ විශේෂඥවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News