නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ් කෙරේ

Share

අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළේය.

 

ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග පිටින් ජාවාරම්කරුවන්ටම ආපසු අලෙවි කිරීම හා ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේයි.

එම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නඩුවේ 16 හා 17 වැනි සැකකරුවන් ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය.

ඒ, බෝට්ටු හිමිකරුවන් වන සිය සේවාදායකයින් දෙදෙනා මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට මුහුදු යාම හා එම ගමන සූදානම් කර ඇත්තේ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස්මත බැවින් එම ජාවාරමට අදාළ තොරතුරු රහස් ප්‍රකාශ ලෙස අධිකරණය හමුවේ ලබාදීමට ඔවුන් සූදානම් බව පෙන්වාදෙමින් නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බලමිනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි පොලිස් කොස්තාපල් සුමේධ වීරසිංහ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති බැවින් ඔවුන් නිරෝධායනයට ලක්කර ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට පැවසීය.

Read more

Local News