ජෛව හායනයට ලක්වන පොලිතීන් භාණ්ඩ නිෂ්පාදකයින් වෙත සහන ලබාදීමට කටයුතු ආරම්භ කරයි

Share

ජෛව හායනයට ලක්වන පොලිතීන් භාණ්ඩ නිෂ්පාදකයින් වෙත සහන ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරය සඳහන් කරයි. ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදන සඳහා වූ යන්ත්‍රෝපකරණ ආනයනයේදී බදු සහන ලබාදීමට කටයුතු කෙරේ.

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශයේ පොලිතීන් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා මූල්‍ය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.

එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා වන පොලිතීන් නිෂ්පාදන හේතුවෙන් ප්‍රභල පාරිසරික හානියක් සිදුවේ. දිරාපත් වීමට වසර ගණනාවක් ගත වන මෙම පොලිතීන් තැන් තැන්වල එක්වීමෙන් විවිධ පාරිසරික හා සාමාජීය ගැටළු පැනනගී. මෙම පොලිතීන් කාණු පද්ධතිවල සිරවී ගංවතුර තත්ත්වයන් ඇති වීම, සතුන් මේවා ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීම, කුණුරොඩු සමඟ එක් කර පිළිස්සීමේදී විෂ වායු පරිසරයට එකතු වීම ඉන් කිහිපයකි.

මෙවැනි ගැටළු මඟ හරවා ගැනීම සඳහා ගන්නා ලද පියවරක් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් පොලිතීන් තහනම ගෙන එන ලදී. ඒ අනුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 2034/33, 2034/34, 2034/35 හා 2017 සැප්තැම්බර් 01 වන දින දරන ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශිත නියෝග හා රෙගුලාසි ප්‍රකාරව අදාළ පොලිතීන් නිෂ්පාදන විකිණීම, විකිණීම සඳහා  අර්පණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන ලදී.

මෙම තහනමත් සමඟ දිරාපත් වන පොලිතීන් හෙවත් ජෛව හායනයට ලක් වන පොලිතීන් කර්මාන්තකරුවන් ගණනාවක් ඒ සඳහා පෙරමුණ ගැනීම ඉතා වැදගත් වූවකි. මීට සමගාමීව ස්වභාවික පරිසරයේ තිබෙන පන් වර්ග, කෙසෙල් පත්‍ර ආදී වශයෙන් විවිධ වූ පරිසර හිතකාමී නිෂ්පාදනයන් වෙළඳ පොළට පැමිණීම යහපත් ප්‍රවණතාවක් විය .

මීට සමගාමීව පුරවැසියන් ලෙසින් ශ්‍රී ලංකාවාසී බහුතර ජනතාව මෙම පොලිතීන් තහනම හා බද්ධ වෙමින් හැකිතාක් පොලිතීන් භාවිතය අවම වන ආකාරයෙන් සිය පාරිභෝගීක අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹීමද හඳුනාගත හැකි විය. ජෛව හායනයට ලක්වන පොලිතීන් නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් අවධාරණය කර සිටියේ, නිෂ්පාදන කාර්යයේදී වැඩි වියදමක් ඒ සඳහා වැය වන බැවින් බඳු සහන ලබාදෙන ලෙසය. ඒ අනුව අදාළ පහසුකම් සැලසීමට රජය මේ වන විට පියවර ගනිමින් සිටි.

Read more

Local News