ජනපති ප‍්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක්

43
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.
මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර මහවැලි ගොවි ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් එම ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.
එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
මොරගහකන්ද ව්‍යාපෘතියට සමගාමීව ඉදිවන මැදිරිගිරිය, බිසෝපුර ගම්මානයේ ඉදිකිරීම් සහ ජනතාවට ඉඩම් බෙදාදීමේ කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
එමෙන්ම මහවැලි අධිකාරිය යටතේ පවතින දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි නිසි ක‍්‍රමවේදයක් යටතේ ප‍්‍රමුඛතාවය අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍ර සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.