ශ්‍රී ලංකාව පරදා එංගලන්තය ජය ගනී

Share

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත පිල සමත් විය.

 

ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි විය.

මෙය වාර්තා පොතට එක් වූයේ එංගලන්ත පිල ශ්‍රී ලංකාවේදී පිට පිට ලැබූ පස්වැනි ජයග්‍රහණය ලෙසිනි.

ලකුණු 74ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිලේ පළමු කඩුලු 3 පෙරේදා පස්වරුවේ දී ලකුණු 14ක් ඇතුළත බිඳ වැටුණු අතර, දිනය නිමාවට පත් වෙද්දී ඔවුන් කඩුලු 3කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38කි.

ඊයේ උදෑසන යවන ලද ඕවර 9කුත්, පන්දු 2කදී එංගලන්ත පිල ජයග්‍රහණය වාර්තා කළේ පරිස්සම් සහගතව ක්‍රීඩා කරමිනි.

පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 35ක් සහ ඩැන් ලෝරන්ස් නොදැවී ලකුණු 21ක් රැස් කරමින් ඊයේ සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක් දවාලීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135කට සීමා කළ එංගලන්ත පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 421ක් රැස් කළේ නායක ජෝ රූට් ලැබූ විශිෂ්ට ද්විත්ව ශතකයේ දායකත්වය සමගිනි.

ඒ අනුව ලකුණු 286ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ලකුණු 359කට දැවී යෑමෙන් එංගලන්ත පිලේ ජයග්‍රහණ ඉලක්කය ලකුණු 74ක් දක්වා අඩු විය. තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ එංගලන්ත පිලේ නායක ජෝ රූට් විසිනි.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සිකුරාදා (22) ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය.

Read more

Local News