රන්ජන්ගේ අසුන පුරප්පාඩු වන බව නීතිපති පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වයි

Share

සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වා තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

මේ අතර සත්‍ය ප්‍රකාශ කළ සිරගත කළ බවද, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් එළියට දැමූ බව ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගිය දින අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත සදහන් කළේය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ සටන නොනවත්වාම ඉදිරියට රැගෙන යන බවයි. වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බවද හොරු සම්බන්ධයෙන් කතා කළ තමා සිරගත කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමා බිය නොවන බව කී මන්ත්‍රීවරයා සමාව ඉල්ලන්නේ නොමැති බවද අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් වරද කරුවකු වී බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවූ පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීමේ ව්‍යවස්ථානුකූල සුදුසුකම් හිමි නොවන බව ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා මහතා පැවසීය.

මහාධිකරණයෙන් හෝ අභියාචනාධිකරණ තීන්දුවකින් පසුව නැවත අභියාචනය කිරීමේ වරප්‍රසාදය චූදිතයකුට හිමි වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව අභියාචන බලය අහිමිවන බැවින් ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති ප්‍රකාරව මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගීවීම හෝ අනෙකුත් අයිතිවාසිකම් අහිමිව යන බව ද හෙතෙම පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුව ප්‍රකාරව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පෙනීසිටීමේ හෝ සැසිවාරවලට සහභාගීවිමේ අවස්ථාව අහිමිවන බව යු ආර් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂ නඩු තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ ලේකම් නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ඕනෑම ශිෂ්ට සමාජයක රාජ්‍ය පාලනයේ ප්‍රධාන මර්මස්ථානය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. මෙකී ආයතන ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුවා මෙන්ම ඒවායේ ස්වාධීන පැවැත්ම තහවුරු කිරීම රාජ්‍යයක ජීවනාලිය පවත්වාගෙනයාම උදෙසා අත්‍යවශ්‍ය කාරණාවන් වේ. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීන පැවැත්මට විධායකය හා ව්‍යවස්ථාදායකය මැදිහත් නොවිය යුතු අතර, ඒ සම්බන්ධ බාධාවන් පවතින්නේ නම් එකී බාධාවන් පාලනය කිරීම ද විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ මඟ හැරිය නොහැකි වගකීමක් වන්නේය.

අප මාතෘභූමිය දශක දහයකට එහා දිවයන ඉතිහාසයක් ඇති ගෞරවනීය, ප්‍රෞඪ අධිකරණ ක්‍රමයකට හිමිකම් පාන රාජ්‍යයක් බැව් නීති වෘත්තිකයන් ලෙස අපගේ අදහසයි. විනිසුරුතුමන්ලා එක්ව ව්‍යවස්ථාමය වගන්තියකින් වෙනස් කිරීම මඟින් හෝ විනිසුරුතුමන්ලාගේ නිවාසවලට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම මඟින් හෝ මහමඟ විනිසුරුතුමන්ලා ඝාතනය කිරීම මඟින් හෝ අධිකරණයට විවිධ අපහාස අවලාද නැඟීම මඟින් හෝ එකී ලාංකීය ස්වාධීන අධිකරණ ක්‍රමයේ ගෞරවය හෝ ප්‍රෞඪත්වය විනාශ කිරීමට යමෙකු කැස කැව්වේ නම් එය ඉටු නොවූවා පමණක් නොව අවසාන වශයෙන් එකී ව්‍යායාමයන්ට නායකත්වය දුන් අය ජනතාව තුළින් ප්‍රතික්ෂේප වූ අයුරු ද ඈත මෙන්ම මෑත ඉතිහාසය ද සාක්ෂි දරයි.අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක මහතා වරදකරු කර දඬුවම් කිරීම මඟින් පෙන්නුම් කරන්නේ එකී ආදර්ශයයි. වරදක් කළේ නම් එය ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය යන්න ද මෙමඟින් මොනවට පැහැදිලි වේ. මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂ නඩු තීන්දුවක් බැව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමය අවිවාදයෙන් ප්‍රකාශ කර සිටී.නීති වෘත්තිකයන් ලෙස ලාංකේය සමාජයට අප ප්‍රකාශ කර සිටින්නේ දූෂිතයන් තුළින් හෝ අපහාසකරුවන් තුළින් හෝ වීරයන් බිහි නොවන බවයි. එවැනි වරද කරුවන්ට වීරයන්ගේ ලේබලය ඇලවීමට ඉක්මන් නොවන ලෙසට අපි වගකීමෙන් සමාජයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් එහි වැඩ්දුරටත් සදහන් කර තිබේ.

එම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට ඉඩ තිබේ.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී “සමගි ජන බලවේගය” පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ රන්ජන් රාමනායක මහතා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර මාන්නප්පෙරුම මහතාට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවිය.

සමගි ජනබල වේගය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිවිය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පිළිබඳ නඩු තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා ගෙන්වා ගෙන එම නඩු තීන්දුව පරිශිලනය කිරීමට නියමිතය.

මේ වන විට සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර ඇත.

පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීම කිරිමේ චෝදනාව යටතේ.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ඒකමතිකව ගෙන තිබෙන බව සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසීය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබුණි.

Read more

Local News