ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකගත්වය

Share

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියළුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකගත්වය පල කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කරමින් වානිජ ගුවන් ගමන් ආරම්භ කළ අද දිනය තුල පමණක් වානිජ ගුවන් ගමන් 15 ක් පමණ සිදු වූ බවයි.

 

කොවිඩ් 19 වසංගතය රට තුල පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බව පැවසූ ඇමතිවරයා ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද කියා සිටියි.

සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය.

සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.

මේක  ජාතික යුතුකමක් සහ වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හදුනාගත් නිසා මාස 10 ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය බෝවීම වැලැක්වීමයි ඒ සදහා අපි ගත හැකි ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සදහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියළුම සංචාරකයින්ට ආරාධනය කරනවා.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35 ක් පමණ මගී මෙහෙයුම් සිදු කලා. ඒ සියළු ගුවන් සමාගම් අප සමග යලි වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපොල තුල සිදුකලා. ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරන වැඩ පිළිවෙල යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට ටික කාලයක් යාවි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් එය සිදුවේවියැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීමත් මාස 06, 07ක් යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි  අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි.

නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.

මෙහිදි මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම අභියෝගයක් බවයි. එම අභියෝගය ජය ගැනීම සදහා රජය සුදානම් බවත් ලක්ෂ 30 ක් වන ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා වැඩි දුරටත් කිවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය සදහන් කලේ රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මතු විය හැකි තත්වයන් සමාලෝචනය කොට විසදා ලීම සදහා පැය 24 ක් පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවයි. සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබද නියමයක් නොමැති බවත් ඔවුන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක සම්භාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුලු සියලු පහසුකම් විදීමට අවස්ථා හිමි වන බවත් සභාපතිනිය කියා සිටියාය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තේමිය අඹේවික්‍රම, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මිහූ ද සහභාගී වූහ

Read more

Local News